භාවනා Meditation: අපි භාවනා කරමු

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

අපි භාවනා කරමු

සිත පිරිසුදු කරමු පිරිසුදු කරමු

අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

"පංච නීවරණයන් සංසිඳුවාගෙන සිත දියුණු තත්ත්වයට පමුණුවන්න යම්කිසි අරමුණක් මෙනෙහි කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් මරණානුස්සතිය දිගටම මෙනෙහි කිරීමෙන් චිත්ත සමාධිය ලැබෙයි. "
නිවන් සුව අපේක්ෂා කරන පින්වතුන් පින් දහම් මෙන්ම භාවනා වැඩිය යුතුයි. මෙම ලිපි පෙළින් අප සඳහන් කරන්නේ භාවනා කරන පිළිවෙතයි.
භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වෙනවා. එය සමථ සහ විපස්සනා භාවනාවයි. සමථ භාවනාව යනු නීවරණ සංසිඳුවාගෙන සිත තැන්පත් කර ගැනීමයි. තණ්හාව , තරහව, කම්මැළිකම, උඩඟුකම, කුකුස යන පංචනීවරණයෝ සංසිඳුවා ගැනීම සමාධි භාවනාවෙන් සහ සමථ භාවනාවෙන් සිදු කෙරේ. එය ලෝභ, ද්වේශ, මෝහයන්ගේ සංසිඳුවීම යැ’යි සඳහන් කළොත් නිවැරැදියි. සමථ භාවනාවෙන් ඉස්මතු වී එන කෙලෙස් යටපත් කර සිත ධ්‍යාන තත්ත්වයට පමුණුවයි.

එය ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය යනුවෙන් කොටස් හතරකට බෙදෙයි. මේ මඟින් ටිකෙන් ටික සිත දියුණු කර ගැනීම සහ සමාධි අවස්ථාවට පත් කර ගැනීම සිදු කෙරේ.
ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවාලන ක්‍රමය ධ්‍යාන අවස්ථාවයි. අහසේ පාවෙනවා සේ දැනෙන ක්‍රමය ධ්‍යාන අවස්ථාවයි. එසේ පාදක කරගෙන අරූපාවචර සමාපත්ති අභිඤ්ඤාහෝ විපස්සනා මාර්ග ඵල අවස්ථාවලට ගමන් කරයි. කොයි කවුරු වුණත් තමන්ගේ සිත ටිකෙන් ටික දියුණු කර ගැනීම සඳහා මෙම ක්‍රමයන් අනුගමනය කළ යුතුයි.
පංච නීවරණයන් සංසිඳුවාගෙන සිත දියුණු තත්ත්වයට පමුණුවන්න යම්කිසි අරමුණක් මෙනෙහි කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් මරණානුස්සතිය දිගටම මෙනෙහි කිරීමෙන් චිත්ත සමාධිය ලැබෙයි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් දිගටම මෙනෙහි කිරීමෙන් චිත්ත සමාධිය ලැබෙයි. එය වාර දාහක් පමණ දිගින් දිගටම මෙනෙහි කළ යුතුයි.
සීවලී කුමරුවා සිවුර පොරවා ගත්තේ රහතන් වහන්සේ නමක් වීමෙන් පසුවයි. අවුරුදු අටේදී මහණ වීමට සූදානම් වූ මොහොතේ හිස කෙස් බාන පළමු අවස්ථාවේදී කෙස් වැටිය අතට දුන්නා. එය කේසා.. කේසා..., කේසා...යනුවෙන් මෙනෙහි කරද්දී සෝවාන් මාර්ග ඵල ලැබුවා. දෙවන කෙස් වැටිය අතට දෙද්දී කේසා..., කේසා..., කේසා... යනුවෙන් මෙනෙහි කර සකෘදාගාමී මඟ ඵල ලැබුවා. තෙවන කෙස් වැටියත් එසේ අතට ගෙන කේසා..., කේසා..., කේසා... යනුවෙන් මෙනෙහි කර අනාගාමී ඵල ලැබුවා. මෙසේ හිස කෙස් මුඩු ගා අවසන් වෙද්දී සීවලී හාමුදුරුවෝ සව් කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් වූවා.

කායගතා සතියෙන් රහත් වූ සංඛ්‍යාව අපමණයි. මහණ වෙද්දීම භික්ෂූන් වහන්සේට භාවනා කමටහනක් ලබා දෙනවා. භික්ෂූන් වහන්සේ කේසා , ලෝමා, නඛා, දන්තා, තචෝ යනුවෙන් මෙනෙහි කළ යුතුයි. මෙසේ දස පංචකය දිගින් දිගටම මෙනෙහි කරද්දී තමන්ටම එහි අනුසස් දැක ගන්න පුළුවන්. කේසා, ලෝමා, නඛා, දන්තා , තචෝ පංචකය සැවොම නිබඳවම මෙනෙහි කරන්න. යන එනවිටදී, බස් රියෙන් ගමන් කරද්දී , කඩයට යද්දී , ගෙදර වැඩ කරද්දී , වතුර නාද්දී , ඉහත සඳහන් පංචකය මෙනෙහි කරන්න. එය නීවරණයන් සංසිඳුවීම පිණිස හේතු වෙයි. ලෝභ. ද්වේශ, මෝහයන්ගේ සංසිඳුවීම පිණිස හේතු වෙයි.
ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ ගුණ මෙනෙහි කරද්දී බලන්න. ලෝභ, ද්වේශ, මෝහ, ක්ලේෂයන් සිතට එයිද? දස ක්ලේෂ සිතට එයිද? එන්නේ නැහැ. එසේනම්, සිත ගත නිවා සනසාලනු පිණිස සිත දියුණු කිරීමේ සමාධි අවස්ථාවෙන් ඉදිරියට යන්න. අහසින් යන තත්ත්වයටම සිත දියුණු කරන්න පුළුවන්. අභිඤ්ඤාපාදක කරගෙන පුරාණ ඍෂිවරු , මහරහතන් වහන්සේලා, අභිඥාලාභී උතුමෝ අහසින් ගමන් කළේ භාවනාවෙන් සිතේ දියුණුවෙන් අභිඥාපාදකවයි. එය උත්තරීතර අවස්ථාවක්. එසේනම්, කොයි කවුරුත් තමාගේ සිත දියුණු කර ගැනීම සඳහා යම්කිසි අරමුණක් සිතට ගැනීම භාවනාවයි. භාවනාව යනු සිත දියුණු කිරීමයි. සිතේ වැඩීමයි. කෙලෙසුන් යහපත් වීමයි. භාවනා කරන්න අවශ්‍යයයි, සිතුවත් විශාල පිනක්. විනාඩියක් භාවනා කළොත් එය විශාල පිනක්. එසේනම්, ඊට වැඩි සංඛ්‍යාවකට ලැබෙන පින සීමා කරන්න බැහැ. කොයි කාට වුවත් තමන්ගේ ගුණ දියුණු කරගැනීමට විශේෂ පින්කම් පහක් බුදු දහමෙහි දැක්වෙයි. ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සජ්ඣායනා කිරීම, ධර්මය මෙනෙහි කිරීම, භාවනා කිරීම ආදී උත්තරීතර පින්කම් පහ විමුක්තිදායක පින්කම් වශයෙන් හැඳීන්වෙයි. මේවා ඍජුවම නිවනට පමුණුවන ක්‍රම පහක්. මේ මඟින් සිදුවන්නේ කෙලෙසුන්ගේ සංසිඳීමයි. චිත්ත සමාධියයි. නුවණ දියුණු වීමයි. මේ ක්‍රම අනුගමනය කිරීම බුද්ධ ශාසනයේ ඔබ අප කවුරුත් කළ යුතුයි. කායික සුවය, මානසික සුවය සිතාගෙන පාරමී ගුණ දියුණු වේවා යන අදහසින් අප පුළුවන් තරම් භාවනා පිළිවෙත් මඟින් සිත දියුණු කළ යුතුයි. කෙනෙක් මිය ගියවිට, දෙයක් විනාශ වූවිට, ඇඬීම - වැළපීම ස්වභාවිකයි. සිතේ දියුණුවෙන් එය බොහෝ දුරට අඩුකර ගන්න පුළුවන්. බුදු දහමට අනුව බණ ඇසීමෙන්, භාවනා ක්‍රම දියුණු කළ යුතුයි. එසේ දියුණු කරගත් පින්වතුන්ට බලවත් ශක්තියක් ගොඩනංවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දහම දේශනා කළේ ශාසනයේ අපමණ දියුණුව පිණිසයි. එය එක් අයකුට, දෙදෙනකුට සීමා වූයේ නැහැ. සූවිසි අසංඛ්‍යෙයක් පිරිස මේ ශාසනයේ පිහිටෙන් නිවන් සුව ලැබුවා. සුළු සංඛ්‍යාවක්ද බලන්න? මේ සැවොම දන් දුන්නා. සිල් රැක්කා, බණ භාවනා මඟින් නීවරණ පහ යටපත් කර එය සම්පූර්ණයෙන් නිදහස් කරන්නට යෙදුණා. මේ නිසා මාර්ගඵල අවස්ථාවට පත්වුණා.
රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ ආදී පංච කාමයන් පිළිබඳ ඇති වන්නාවූ තෘෂ්ණාව කාම ආශාවයි. මනුලොවට, දෙව්ලොවට, බඹලොවට හෝ තමන් සිටින තැනට තිබෙන ආශාව භවාශ්‍රවයයි. විවිධාකාර මිසදිටුකම් දිට්ඨාශ්‍රවයයි. මෝඩකම්, අවිද්‍යාව, චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම අවිද්‍යාශ්‍රවයයි. මෙසේ සතර වැදෑරුම් ආශ්‍රවයෝ සන්සිඳුවා ගත්විට ඒ සිත හඳුන්වන්නේ අනාශ්‍රව අවස්ථාවයි. රහතන් වහන්සේ ඍජුවම අනාශ්‍රව ලෙස හඳුන්වනවා. එය වෙනස් වන්නේම නැහැ. අන්‍යයන් පිනක් දහමක් කරද්දී කාමාශ්‍රව , දිට්ඨ ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවය, පහව ගියානම් ඒ සිතට අනාශ්‍රවයි. නැවත අපි ක්ලේෂ ගැන සඳහන් කරමු. අනාශ්‍රව භවයෙන් ඉවත් වුණා. ආශ්‍රව බවට පත් වුණා . පල්වීම, නරක්වීම, දුගඳ හැමීම අර්ථය ආශ්‍රවයි. එය සම්පූර්ණයෙන් නැති කිරීම අනාශ්‍රවයි. ඒ නිසා බුදු දහම අනාශ්‍රව ධර්ම ඇති කරන දහමක්. කෙලෙස් වඩන, සසර දිග්කරන , අපායට ඇද දමන දහමක් නොවෙයි. අපායෙන් අත්මුදන , දෙව්ලොවට, බඹ ලොවට පමුණුවන, දිව්‍ය මාර්ග සම්පත් ඉක්මවායන නිවනට පමුණුවන සුවිශේෂී දහමක්. තථාගත ධර්මයෙන් මෙසේ කියනු ලබන ආශ්‍රවයන්ගේ සංසිඳුවීම පැහැදිලි වන්නේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය , අනාගාමී මාර්ග ඥානය , අර්හත් මාර්ග ඥානය වූ අවස්ථා හතරයි. විවිධාකාර ක්‍රම අනුව බෝධි පාක්ෂික ධර්මතා තිස් අටක් තිබෙයි. මේවා සත්තිස් බෝධි පාක්ෂික ධර්මයි. බෝධි පාක්ෂික ධර්ම දියුණු කරගැනීමට අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක් නැහැ. සිත හොඳනම් පහළ වෙනවා. සිතේ තිබෙන තරහ, ක්‍රෝධ, මාන නැත්නම් ඒ සිත ප්‍රභාෂ්වරයි . පින්කමක සිත පිහිටුවොත් බෝධිපාක්ෂික ධර්ම තිස්හතම ලැබෙනවා. භාවනා කරන මොහොතේ චිත්ත වීතියක් ගණනේ බෝධි පාක්ෂික ධර්ම තිස්හතම පහළ වෙනවා. අභිධර්ම පිටකයේ පෙන්වාදෙන පරොපර්යාස ධර්ම හැත්තෑපහක්, චිත්ත සමාධිය පමුණුවන ධර්ම හැටපහක් වශයෙන් ධර්මයෝ එක සිතක පහළ වෙද්දී කොපමණ සිත කලබල වෙන්න ඕනද? කුසල් සිතක ධර්ම හැටපහක් පහළ වෙනවානම් ඒ හැටපහ බොහොම ප්‍රභාෂ්වරයි. පුණ්‍ය කර්මය බලවත් . ඒ පිනෙන් සිත බලවත් වී සිතේ ශක්තිය වැඩෙනවා.


බුදු ගුණ භාවනාවෙන් ලැබෙන පින අපමණයි


" මේ ජීවිතයේ සුවපත් නින්දක් ලබන්න පුළුවන්. සුවපත් අවදිවීමක් ලබන්න පුළුවන්. ඇතැමෙකුට නින්ද යන්නේ නැහැ. ඇතැමෙකු නිසි වේලාවට අවදි වෙන්නේ නැහැ. මේ කරුණු දෙකට බෙහෙත් හේත් ගන්නවාට වඩා බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීම ප්‍රභල වෙයි. යක්ෂ, ප්‍රේත , අමනුෂ්‍ය පිරිස ද බුදු ගුණවලට බිය වෙති. බුදු ගුණ භාවනාවෙන් ලැබෙන අසීමිත පින මෙපමණයි යනුවෙන් කාටවත් ප්‍රකාශ කරන්න බැහැ."
චිත්ත සමාධිය ලැබෙන සමථ භාවනාව, උපචාර සමාධි සහ අනුපචාර සමාධි වලට පත්කර ගන්න පුළුවන්. එය ධ්‍යාන අභිඥා උපදවා ගන්නත් සමර්ථ වෙයි. සමථ භාවනාවෙන් සිත දියුණු කිරීම යනු පංචනීවරණයන්ගෙන් සන්සිඳීමයි. නීවරණ පහක් බුදු දහමේ සඳහන් වෙයි. පෘතග්ජන සෑම කෙනෙකුටම 
සිතේ පහළවෙන නිවන යටපත්කරන, සුගතිය යටපත් කරන ධර්මතා පහක් වෙයි. කාමච්ඡන්ද නීවරණය,ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ඡ කුක්කුච්ඡ නීවරණය, විචිකිච්ඡා නීවරණ වශයෙන් නීවරණ පහකි. සෑම සිතකම බලපවත්වන්නා වූ මේ පංචනීවරණයෝ තම තමාගේ නුවණින් පිරික්සා ඒවා දුරු කිරීමට කටයුතු කළ යුතුයි. එයයි සමථ භාවනාව.

විදර්ශනාවේදී පංච නීවරණයෝ අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් බැලිය යුතුයි. අනිත්‍ය ලක්ෂණය , දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයන් දෙස බලා මෙනෙහි කිරීම විදර්ශනාවයි. එනම්, ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමයි.
බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීමේදී පූර්ව කෘත්‍ය සම්පූර්ණ කර තුනුරුවන්ට ගරු බුහුමන් දක්වා විවේකස්ථානයක ඉඳගෙන ඉතිපි සෝ ගාථාව ශාන්තව මෙනෙහි කළ යුතුයි. වේගවත් නැතිව, හිමිහිටත් නැතිව ශාන්තව මධ්‍යම ප්‍රමාණයෙන් බුදු ගුණ භාවනාව සතර ඉරියව්වෙන් මෙනෙහි කළ යුතුයි.
ඇවිදයද්දී, හිටගෙන සිටියදී, වාඩිවී සිටියදී, නිදන ඉරියව්වෙන් සහ නිදිවර්ජිතව යම් වේලාවක් තිබේනම් එතෙක් අපට ඉතිපි සෝ ගාථාව හෙවත් බුදු ගුණ භාවනාව සම්පූර්ණ කළ හැකියි. බුදුගුණ භාවනාව සම්පූර්ණ වන්නේ එහි තේරුම ගැන දැනුවත් වූ පසුවයි.
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ... ආදී ගුණ නවය එකින් එක ගුණය බැගින් තේරුම දැනගත්විට ප්‍රමාණවත් එක ගුණයකට අදාළ ගුණ සංඛ්‍යාව ගණනය කරන්න අපහසුයි. එබැවින් බුදු ගුණ අනන්තයි සඳහන් වෙයි. ඒ අනන්ත බුදු ගුණය නව ආකාරයකට බෙදා දැක්වෙන්නේ මෙසේය. අරහං, සම්මා සම්බුද්ධෝ , විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ , අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ ,භගවා යනුවෙන් බුදු ගුණ නවයකි. එය නවගුණ භාවනාව, බුදුගුණ භාවනාව, බුද්ධානුස්සති භාවනාව වශයෙන් කවර නමකින් සඳහන් කළත් එකම තේරුමයි. දවසකට එක ගුණයක් මෙනෙහි කළත් අගෙයි.
සෝ භගවා ඉතිපි අරහං යන්නෙහි තේරුම සකල ක්ලේෂයන්ගෙන් දුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේකැ’යි සිතා තවත් තේරුම් දැනගෙන දවස පුරාම සියලු ඉරියව්වලදී සෝ භගවා ඉතිපි අරහං, යනුවෙන් මෙනෙහි කළ යුතුයි. එමඟින් සිතට විශාල ශාන්තියක්, විශාල යහපතක් සලසා ගන්න පුළුවන්, බුදුගුණ භාවනාව වඩමින් මිදුල අමදිමින් වතාවත් කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයක වැඩ සිටියා. මේ ස්වාමීන් වහන්සේ එක්තරා දවසක මිදුල හොඳින් ඇමදුවා. එදා ගවයෙකු පැමිණ ඇමදූ මිදුල අපවිත්‍ර කළා. දෙවන දවසෙත් අතු පතු ගෑ මිදුලට පැමිණි වඳුරෙක් කොළ අතු කඩා බිඳ දමා මිදුල අපවිත්‍ර කළා. තෙවන දිනත් මිදුලට සොරෙකු පැමිණ එහාට මෙහාට ඇවිදලා මුලු මිදුලම අපවිත්‍ර කළා. ස්වාමීන් වහන්සේ මෙය මාරයාගේ ක්‍රියාවක් බව දැනගෙන මෙසේ මිදුල අපවිත්‍ර කරන්නේ වසවර්ති මාරයා නේදැ’යි විමසුවා. මා වඩන බුදු ගුණ භාවනාව, චිත්ත සමාධිය විනාශ කරන්න මෙවැනි ක්‍රියාවක් ඔබ කළේදැ’යි විමසුවා. මාරය, ඔබ ඔතරම් බලවත් නම් අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහය මට මවා පෙන්වන්නැ’යි පැවසුවා. මොහු බුදුරජාණන් වහන්සේ දුටු කෙනෙක් බැවින් ශ්‍රී දේහය විචිත්‍රවත් ලෙස මවා පෙන්නුවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , අසූවක් අනුව්‍යංජන ලක්ෂණ, යාම ප්‍රභාව, කේතුමාලාලංකාර , සවණක් ගණ බුදුරැස් මාලාවන් , ඌර්ණ රෝම ධාතුවෙන් සමන්විත ශ්‍රී දේහය විචිත්‍රවත් ලෙස මවා පෙන්නුවා. මේ බුද්ධ අසිරියෙන් නිවී සැනසුණු ස්වාමීන් වහන්සේ බුදු ගුණ භාවනාව ශාන්තව දිගටම මෙනෙහි කළා. මේ මඟින් චිත්ත සමාධිය පිණිස නීවරණයන්ගේ සංසිඳීමක් සිදු වුණා. ඇත්ත ඇති සැටියෙන් වටහාගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ හොඳින් අවබෝධ කළා. පවිටු මාරයා අතුරුදහන් වීමට පෙරම ස්වාමීන් වහන්සේ නිවන් සම්පත් අවබෝධ කළා. බුදු ගුණ භාවනාව නිවන් සම්පත් සලසා දීමට සුදුසු ඉතාමත්ම පැහැදිලි සරල භාවනාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. බුදු ගුණ භාවනාවෙන් තමන්ගේ සිත , ගත නිවා සනසා ගන්නට පුළුවන්. අසනීප, අපල උපද්‍රව, නවග්‍රහ දෝෂ සන්සිඳුවාගන්න පුළුවන්. එය කායික මානසික සුවපත් භාවය සලසා ගෙන මෙලොව ජීවිතය හොඳින් හඳුනා ගැනීමට උපකාරී වෙයි. එසේනම්, බුදු ගුණ භාවනාවෙන් තම තමන්ගේ සිත විශේෂයෙන් දියුණු තත්ත්වයට පත් කරගන්න පුළුවන්. නීවරණයෝ යටපත් වුණාය, සන්සිඳුණාය යනු උතුම් අවස්ථාවක්. සියලු දෙනාගේ සියලු කරදර, බාධක, පීඩා, අපල යනු මේ පංචනීවරණයන්ගෙන් සිදුවන විපත් වෙයි. සිත ආරක්ෂිත කර ගැනීම, සිත දියුණු කර ගැනීම, ලෙහෙසි පහසු කරුණක් නොවෙයි. සිතේ ලෝභ, ද්වේශ, මෝහ වශයෙන් කොටස් තුනක් වෙයි. එය පාපී සිතිවිලි, අකුසල් සිත් යනුවෙන් දොළොස් ආකාරයකට බෙදා දක්වයි. එය සිත සියලු විනාශයන්ට පත් කරයි. බුදු ගුණ භාවනාවෙන් ලෝභ, ද්වේශ, මෝහ වළක්වාගන්න පුළුවන්. සිත පරිහානියට පත්වන ලෝභ, ද්වේශ, මෝහ කෙලෙස් හඳුනාගෙන යටපත් කිරීමට උත්සාහ ගත යුතුයි. බුදු ගුණ භාවනාව නිවැරැදිව සිදු කර ලෝභ, ද්වේශ, මෝහ ක්ලේෂයන් බොහෝ දුරට යටපත් කරගන්න පුළුවන්. බුදු ගුණ භාවනාවෙන් තමන්ගේ සිතේ දියුණුව සැලසෙන බව බුදුන් වහන්සේ් වදාළා. එය කෙලෙසුන් යටපත් කරන, කෙලෙස් නිරුද්ධවන, සංසාර ගමන ගැන කලකිරෙන, විශිෂ්ඨ ඥානයෝ සහිත ධර්මාවබෝධය ඇති කරගෙන මඟ ඵල නිවන් සුව සලසන භාවනාවක්. එසේනම්, බුදු ගුණ භාවනාව බොහොම වැදගත්. එහි එක් ගුණයක් ලෙස ඉතිපි සෝ භගවා අරහං යනුවෙන් ගුණ නවයම එකිනෙක පද සම්බන්ධ කරගෙන ඉගෙන ගන්න. සෝ භගවා ඉතිපි භගවා, සෝ භගවා ඉතිපි අරහං ,සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ ,සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ, සෝ භගවා ඉතිපි සෝ සුගතෝ, සෝ භගවා ඉතිපි ලෝකවිදූ , සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්ම සාරථී සත්ථා, සෝ භගවා ඉතිපි සත්ථා දේවමනුස්සානං ,සෝ භගවා ඉතිපි බුද්ධෝ, සෝ භගවා ඉතිපි භගවා... මෙයයි සැලැස්ම . මෙයයි පද සම්බන්ධය. හැම පදයකටම , හැම ගුණාංගයකටම සෝ භගවා ඉතිපි යනුවෙන් සම්බන්ධ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක. යනුවෙන් ඉතිරි බුදු ගුණ සහිත පද වලටත් යොදා ගත යුතුයි. අරහං වදන සිතුවත් වටිනවා.
දිනක් ක්‍රීඩා කරමින් සිටි ළමයෙක් “නමෝ බුද්ධාය” යනුවෙන් පැවසුවා. නමෝ බුද්ධාය වදනින් ඒ දරුවාට විශාල ආනිශංසයක් ලැබුණා. එහි සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! යන අරුතයි. මේ දරුවා යක්ෂ, ප්‍රේත , කරදර වලින් පවා සන්සිඳුණා. එසේනම්, විශාල දියුණුවක් ලබන්න, ආරක්ෂාවක් ලබන්න, පිහිටක් ලබන්න බුදු ගුණ භාවනාව බොහොම බලගතුයි.
සෑම ළමයෙක්ම නමෝ බුද්ධාය යන වදන පුරුදු වන්න. බෞද්ධ, අබෞද්ධ සෑම ළමයෙකුටම මේ මඟින් විශාල පිනක් අත්පත් වෙයි. මේ භාවනාව නුවණින් සිදුකළොත් කොපමණ පිනක් අත්පත් වේද? සංසාර ගමන ආලෝකවත් දිවියක් ලබන්න පුළුවන්. ප්‍රීතිමත් දිවියක්, යහපත් නුවණක් ලබන්න පුළුවන්. එමෙන්ම මේ ජීවිතයේ “සුප්ප බුද්ධං පබුජ්ඣන්ති” සුවපත් නින්දක් ලබන්න පුළුවන්. සුවපත් අවදිවීමක් ලබන්න පුළුවන්.
ඇතැමෙකුට නින්ද යන්නේ නැහැ. ඇතැමෙකු නිසි වේලාවට අවදි වෙන්නේ නැහැ. මේ කරුණු දෙකට බෙහෙත් හේත් ගන්නවාට වඩා බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීම ප්‍රභල වෙයි. යක්ෂ, ප්‍රේත , අමනුෂ්‍ය පිරිස ද බුදු ගුණවලට බිය වෙති. මේ අය බුදු ගුණ පවසන තැනකවත් ඉන්නේ නැහැ. එසේනම්, බුදු ගුණ භාවනාවෙන් ලැබෙන අසීමිත පින මෙපමණයි යනුවෙන් කාටවත් ප්‍රකාශ කරන්න බැහැ.


ඉගෙනීමට අසීරු නම් දරුවනේ , බුදු ගුණ මෙනෙහි කරන්න


ගෞරව බහුමානයෙන් තෙරුවන් නැමැඳ බුදු ගුණ භාවනාව මෙනෙහි කළොත් තමන්ට ලැබෙන්නේ පුදුම ශක්තියක්. මව් පියන් ,වැඩිහිටියන් වූ ඔබ ඉගෙන ගන්න අසීරු දරුවන්ට මේ ගැන කියලා දෙන්න. දරුවා එදිනෙදා කරන ක්‍රියාකාරකම්වල දී දවස පුරාම සෝ භගවා ඉතිපි අරහං ගුණය මෙනෙහි කරන්නැ’යි පවසන්න. සිව් ඉරියව්වෙන්ම මෙනෙහි කළ හැකි එය දවසට වාර දාහක් , දෙදාහක් මෙනෙහි කළොත් සිතට දැනෙන්නේ අපමණ සවියක්. මෙමඟින් සිතට දැනෙන තැන්පත්කම දරුවාගේ අධ්‍යාපනයට ඉමහත් රුකුලක්. මේ නිසා දරුවාට හොඳින් ඉගෙන ගන්න පුළුවන්. පැවිදි උතුමන්ට, නිවසේ විවේකීව වාසය කරන පින්වතුන්ට, රැකී රක්ෂාවල නිරත අයට, සිහි කල්පනාව මදි අයට කල්පනාව දියුණු කරගැනීමට බුදු ගුණ භාවනාව හොඳින් දියුණු කළ යුතුයි. මෙහි සඳහන් කරන දේ නිවැරැදිදැ’යි අත්හදා බලන්න.
තමන් මේ පාඩම හරි හැටි මෙනෙහි කළොත් ලැබෙන පින අපමණයි. අපට මේ දේට වේලාවක් නැහැ’යි සිතන්න එපා. අපේ ආරක්ෂාව අප විසින්ම සකස් කර ගත යුතු බව බුදු ගුණ භාවනාවෙන් සඳහන් වෙයි. එසේනම්, සෑම කෙනෙකුම නිර්භීතව මෙනෙහි කළ යුත්තේ බුදු ගුණ භාවනාවයි.

සෝ භගවා ඉතිපි අරහං යනුවෙන් බුදු ගුණ මෙනෙහි කළොත් දෛනික වැඩ කටයුතුවලටත් අගෙයි. මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් ලැබෙන්නේ විශාල පිනක්. නිවන් සම්පත් ලබන්නත් හේතුවන මේ භාවනාව සිහි කල්පනාවෙන් මෙනෙහි කර පින වැඩි කරගත යුතුයි. මේ මඟින් ශක්තිය , බලය වඩා වර්ධනය කළ යුතුයි. සෑම සත්ත්වයෙක්ම මිය යති. මේ සිටින පුද්ගලයා තව සුළු මොහොතකින් මිය යයි. එබඳු පුද්ගලයාට පමණක් නොවෙයි සැමටම අවශ්‍ය කරන්නේ පිනයි. එය උසස් අයුරින් ලබන්න බුදු ගුණ භාවනාව කළ යුතුයි.
බුදු සසුනක් නොමැති කලෙක බුදු ගුණ මෙනෙහි කරන්න අපට පුළුවන්කමක් නැහැ. සංසාරෙවත් කරන්න අපහසු භාවනාවක් බුදුන් වහන්සේ ලොවේ පහළ වී දේශනා කර වදාළා. කරණීය මෙත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. ඔබ සැවොම සිටගෙන සිටියදී, ඇවිද යාමේදී, ඉඳගෙන සිටියදී , නිදන ඉරියව්වෙන් සහ නිදිවර්ජිතව සිටියදී මනා සිහියෙන් වාසය කළ යුතුයි. එසේනම්, ඕනෑම කෙනෙකු නිදහස් වේලාවක දවසට එක බුදු ගුණයක් හෝ මෙනෙහි කරන්න ඉටා ගන්න. අප මහා සම්මා සම්බුදුපියාණෝ පෘතුවි තලය කම්පා කරමින් ආලකාරාම සූත්‍ර දේශනාවෙන් අපමණ බුදුගුණ වදාළා. එසේම තවත් අවස්ථාවලදී තමන් වහන්සේ ගුණ කථන පැවැත්වූවා. හැබැයි, 
මේ ගුණ කථන පැවැත්වූයේ අවශ්‍ය වේලාවට පමණයි. නැත්නම් නික්ලේෂී බුදු හිමියන් තමන්ගේ ගුණ ප්‍රකාශ කළේ නැහැ. තමන් වහන්සේ සර්වඥ බවත්, තමන් වහන්සේ බුදු බවට පත් වූ බවත්, තමන් වහන්සේ නික්ලේෂී අර්හත් බවත් ප්‍රකාශ කරන ආලකාරාම සූත්‍රය මනාකොට දේශනා කර වදාළා. මේ ගැන සොයා බලා අපට හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් .

බුද්ධානුස්සති භාවනාව නොහොත් බුදු ගුණ භාවනාව ගැන විශුද්ධි මාර්ග අට්ඨ කථාව සහ තවත් සුවිශේෂී ග්‍රන්ථවල විශේෂයෙන් සඳහන් වෙයි.
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරදුන් පිළිබඳ ගුණ දේශනාවන් පවත්වා බුද්ධ ඥාන පිළිබඳව විග්‍රහ කළ අර්ථ අපමණයි. එකල ලක්දිව වැඩ සිටි කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ බුදු ගුණ ගැන දොළොස් පැයේ ධර්ම දේශනාවක් වදාළා. සවස පටන් ගන්නා දේශනය අවසන් වෙන්නේ උදෑසනයි. මේ දොළොස් පැයේ බුදු ගුණ දේශනාවෙන් කෙතරම් පිරිසක් සැනසීමට පත් වුණාද? බුදුන් වහන්සේ අතීත භව ගමනේ භාවිත සිතින් බුදු ගුණ දේශනා දක්ෂව විචිත්‍රව වදාළා.
වරදින්නේ නැතිව ඍජුවම ආර්ය අෂ්ඨාංගික මග ගමන් කරන සුවිශේෂී භාවනාව බුද්ධානුස්සතියයි. මේ ගැන හසල දැනුමකින් අදට වඩා හෙට ,හෙටට වඩා අනිද්දා සිතේ දියුණුවෙන් පාරමී ගුණ සම්පත් දියුණුවෙන් බුද්ධානුස්සති භාවනාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධකර ශාන්ති ලක්ෂණ සහිත අමා මහා නිවන් සුව අවබෝධ කරන්නට ලැබේවා’යි පතමු.


සිහි කල්පනාව තිබෙන කාලයේදීම පිනට දහමට නැඹුරු වන්න


බුදුරජාණන් වහන්සේගේ අපමණ බුදු ගුණ ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො පාඨයට ඇතුළත් කර තිබෙයි. එයට ඇතුළත් නොවූ ගුණයක්, ඥානයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සතුව තිබෙන අසීමිත ගුණ , නුවණ ,පුණ්‍ය තේජස, ඥාන තේජස, ධර්ම තේජස සියල්ලම බුදු ගුණ නවයට ඇතුළත් වෙයි. ශීල සංවරය, ඛන්ති සංවරය, ගුණ සංවරය, විරිය සංවරය, ඇතුළත් වී තිබේ නම් ඒ සියල්ල මේ ගුණ නවයට ඇතුළත් වෙයි. එසේනම්, මේ ගුණවල අකුරක් ගානේ අති විශාල බලයක් ශක්තියක් තිබෙයි. එසේනම්, කොයි කවුරුත් බුදු ගුණ භාවනාව මුලින්ම වැඩීම ප්‍රයෝජනවත් වෙයි.
සතර කමටහන්වල පළමුවැන්න බුද්ධානුස්සතියයි. එසේ නැත්නම් බුදු ගුණ භාවනාවයි. දෙවැන්න මෛත්‍රී භාවනාවයි. තෙවැන්න අසුභ භාවනාවයි. සිව්වැන්න මරණ සති භාවනාවයි. මේ භාවනාවන් සතර අතුරින් අප මුලින්ම බුදු ගුණ භාවනාව සිදු කළ යුතුයි. කාටත් ඉතිපි සො ගාථාව කටපාඩම් වුවත් එය සිහිකල්පනාවෙන් මෙනෙහි කිරීම වැදගත් වෙයි. ගුණ නවයක් ඇතුළත් මෙහි දවසට එක ගුණය බැගින් මෙනෙහි කළොත් දින නවයකදී ගුණ නවය අවසන් වෙයි. මෙම බුද්ධානුස්සති භාවනාව වඩන්න කැමැති පින්වතුන් 
බුදු ගුණ මෙසේ මෙනෙහි කරන්න. සො භගවා ඉතිපි අරහං, සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ, සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො, සො භගවා ඉතිපි සුගතෝ, සො භගවා ඉතිපි ලෝකවිදූ , සො භගවා ඉතිපි අනුත්තරෝ පුරිස දම්ම සාරථී, සො භගවා ඉතිපි සත්ථා දේව මනුස්සානං, සො භගවා ඉතිපි බුද්ධො, සො භගවා ඉතිපි භගවා නව ගුණයන් අනුලෝම (මුල සිට අගට) වශයෙන් පුළුවන් තරමින් මෙනෙහි කරන්න.

ප්‍රතිලෝම (අග සිට මුලට) වශයෙන් ආපස්සට අනුපිළිවෙළට මෙනෙහි කරන්න. සො භගවා ඉතිපි භගවා, සො භගවා ඉතිපි බුද්ධො, සො භගවා ඉතිපි සත්ථා දේවමනුස්සානං, සො භගවා ඉතිපි අනුත්තරො පුරිස දම්ම සාරථී, සො භගවා ඉතිපි ලෝකවිදූ , සො භගවා ඉතිපි සුගතෝ, සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො , සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ , සො භගවා ඉතිපි අරහං යනුවෙන් මෙනෙහි කරන්න. මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිය දහස් වර ලක්ෂවර මෙනෙහි කරන්න. ඊටපසුව එක ගුණයක් මෙනෙහි කරන්න. සො භගවා ඉතිපි අරහං යනුවෙන් දිගටම දිනක්, දෙදිනක්, තෙදිනක් මෙනෙහි කරන්න. දෙවන දවසේ සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. ඊළඟට තෙවැන්න සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නො මෙසේ ගුණ ටික, ටික දවසකින් සතියකට වරක් එක ගුණයක් හෝ මෙනෙහි කර ඉදිරියට යන්න. එය බුද්ධානුස්සති භාවනාවයි.
යම් කිසිවෙක් බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීමෙන් ඒකාන්තයෙන්ම සංසාර ගමන කලකිරී, කෙලෙසුන් නැති කර, කෙලෙසුන් නිිරුද්ධ කර බුදු ගුණ භාවනාව නැවත නැවත මෙනෙහි කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
එසේනම්, බුදු ගුණ භාවනාව නිවන් සම්පත් ලබා දෙන භාවනාවක්. එය අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ මැනවින් සඳහන් වෙයි. එසේනම්, කොයි කවුරුත් තමන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණුවට බුදු ගුණ භාවනාව හැකිතාක් මෙනෙහි කරන්න. බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සිදු කරමින් බුදු ගුණ භාවනාව බහුලව මෙනෙහි කිරීමෙන් තමන්ගේ සති, සමාධි, ඥාන හොඳින් දියුණු වෙයි. කරන කියන දේ නිවැරැදි වෙයි. ආරක්ෂාව, යහපත, තමන්ටම ලැබෙයි. සුවසේ නිදන්න, සුවසේ පිබිදෙන්න බුදු ගුණ භාවනාව වැඩීම බොහොම අගෙයි. යක්ෂ, පේත , භූත අමනුෂ්‍යයන් පවා බුදු ගුණ භාවනාවට බියයි. ඒ නිසා කවුරුත් බහුලව බුදු ගුණ භාවනාව මෙනෙහි කළොත් තමන්ට නිවන් සම්පත් ලබන්න පුළුවන්. නිවන් දකිනා තුරා සුගතියක වාසය කරන්න පුළුවන්.
අපායෙන් නිදහස් වීම වැදගත්ම කාරණාවක්. ලෝකවාසී සත්ත්වයෝ බහුලව වාසය කරන්නේ සතර අපාගතවයි. නරක, තිරිසන්, පේත, අසුර අපා සතරේ සත්ත්වයෝ බහුලව වාසය කරති. එය ගණනය කරන්නත් අපහසුයි. නමුත්, මනුලොව සිටින මිනිසුන් ගණන කෝටි හතක් ලෙස ගණනය කළ හැකියි. වතුර වළක, වැවක, ගඟක තිරිසන් සතුන් කෝටි කීයක් වෙසෙනවාද? මේවා තිරිසන් ලෝකයි. පේ‍්‍රත ලොවේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැ. නරකයේ එකසිය තිස්හයක් වූ අපායවල වාසය කරන සත්ත්ව සංඛ්‍යාව අපමණයි. ඒවායේ උරුමව ඇත්තේ දුකමයි. මේ දුකෙන් නිදහස්වීමට බුදු ගුණ භාවනාව බොහොම ප්‍රයෝජනවත් වෙයි. බුදුවරයෙක් තමන්ගේ ගුණ ප්‍රකාශ කළේ අවශ්‍යම මොහොතක පමණයි. කසීභාරද්වාජට, අග්ගික භාර්ද්වාජට බුදු ගුණ දේශනාවන් වදාළා. ආලකාරාමයේදී කාලක සිටුතුමා ඇතුළු ප්‍රභූන් පිරිසක් ඇතුළු පළාතේ පිරිසකට බුදු ගුණ දේශනාවන් වදාළා. ආලකාරාම සූත්‍ර දේශනාව සිදු කරන අසිරිමත් මොහොතේදී මහා පෘථිවිය වාර සතරකින් කම්පා වූ බව ධර්මයේ සඳහන් වෙයි. එසේම බුදු ගුණ දේශනාවෙන් ආලාකාරාම ප්‍රදේශවාසීන් සහ සාකේත නුවරවාසී අති විශාල පිරිසක් අපමණ පැහැදීමකට පත් වුණා. අන්‍ය ආගමිකයන් පවා බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනාගත්තත් පැවසුවේ නැහැ. ඔවුන් බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡා පැවැත්වූවා. බුදු ගුණවල අසීමිත බලය අසා තිබූ අන්‍ය ආගමිකයන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා.
බුදු ගුණ ගැන පැහැදීමෙන්, විශ්වාසයෙන් වැඳ නමස්කාර කරනවානම්, බුදුරදුන් වෙනුවෙන් බුද්ධ පූජා පවත්වනවානම් එහි අනුසස් ලැබෙන්නේ හෙට නොවෙයි අදයි. බුදු කෙනෙක් ලොවේ සැම විටම පහළ වන්නේ නැහැ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයකට පහළවන්නේ බුදුවරු විසි අට නමයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් යනු අසංඛෙය කල්ප සතරකුත් කල්ප ලක්ෂයයි. මෙපමණ කලකට බුදුවරු විසිඅට නමයි. එසේනම් බුදුවරයෙක් ලොවේ පහළවීම කෙතරම් දුර්ලභ අවස්ථාවක් දැ’යි සිතා බලන්න. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ බුද්ධාන්තරයකින් පසුවයි. ඊටපසුව ලොවේ බුදු කෙනෙක් පහළ වෙන කාලයක් , සටහනක් ඇත්තේම නැහැ. ඒ නිසා අද අදම පින් කරගත්තොත් පින්වතුන්ට සංසාරෙම සැපයෙන් වාසය කරන්න පුළුවන්. නමුත්,මේ ගැන සිතන්නේ බොහොම ස්වල්ප දෙනයි.
සමහරු මරණය ළඟාවූවිට පන්සලට දුවන්න සූදානම් වෙනවා. දන් දෙන්නේ ,සිල් රකින්නේ ජීවිතයේ අවසාන කාලයෙයි. කාලය අවසානයේ ලබාදෙන දානය ප්‍රභල නැහැ. එසේවන්නේ සිහි කල්පනාව මඳ නිසයි. එවැනි පුද්ගලයාට ශීලයක් ගන්නත් සිහි කල්පනාව මද වෙයි. මෙසේ මඳ සිහියෙන් කරන පින්කම් බොහෝ දුරට අසාර්ථක වෙයි. සිහි කල්පනාව මඳ වූ විට මොන පින්ද? මොන භාවනාද? මොන සිල් ද කියලා තමන්ටම කල්පනා වෙයි. එසේනම්, සිහිකල්පනාව තිබෙන කාලයේ පින් දහම් කර, බණ භාවනා වඩන්න අද අදම වෙහෙස මහන්සි වීමට අධිෂ්ඨාන කර ගන්න.


free counters