භාවනා Meditation: ධ්‍යාන වශිතාව

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

ධ්‍යාන වශිතාව

භාවනාවේ සැපයට පෙර වදනක්


යම් විටෙක සමාපත්තියෙන් නැගීසිටිය හැකි බව චුට්ඨාන වශිතා යි. සමාපත්තියෙන් නැගී සිට සමවත් ධයානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීමේ හැකියාව පච්චනෙක්ඛණා වශීතාවයි. සිය දහස් වර ප්‍රථම ධයානයට සමවදිමින් ඉන් නැගී සිටිමින් වශිතා පසින් ධ්‍යානය තමාට වලංගු කැරැ ගත යුතු. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට, ප්‍රථම ධ්‍යානයේ දොස් පෙනෙන්නට වේ. විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව.

එය කාමච්ඡන්දාදි නීවරණ වලට කිට්ටු බව. එයට නොසමවැදි ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයෙන් නැගී සිටිය හැකි බව යනාදී දොස් පෙනෙයි.
විතර්ක විචාර දෙක නැති ව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්‍යානය ලබාගත හැකි වූවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්‍රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්‍රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්‍යාන සිත ඔහුට පහළ වෙයි.
ද්විතීය ධ්‍යානය ද වශිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැ යි ඔහුට වැටහෙයි. එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්‍රතා යන අංග දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්‍යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් විට දළ බව ඔහුට පෙනෙයි. උපේක්ෂා ඒකග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්‍යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වශීතා පසින් තුන්වන ධයානය ද ඛ්ුරු පුරුදු කැරැ ගත්තහුට ප්‍රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි. උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුතු චතුර්ථ ධයාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම්, සෘද්ධි විධඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිවකන යන අභිඥා පස ලැබීමට. ඒවා ලබත හැකි ක්‍රියාමාර්ගයට බැස්ස හැකි ය. සිත තවදුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්‍යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකිය. එහෙත් මේ රූප සමාපත්ති සතරත් අරූප සමාපත්ති සතරත් යන අටම ලෞකිකය. රූප ධ්‍යාන වල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දීර්ඝ කාලයක් උන්නත් අන්තිමේදී එයින් චූත ව මිනිස් ලොවට එන්නට සිදුවෙයි.

සෘද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා එයින් පිරිහී හිඳ ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. බඹලොවින් චූතව මිනිස්ව උපන් කෙනෙක් වූවද පාපමිත්‍ර සේවනයෙන් පව් කොට ගැඩිවිලිකු ව උපදින්නට ද පුළුවන. රූපධ්‍යාන ලාභියා උපදින රූපභවයට වඩා අරූපධ්‍යානලාභියා ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූපධ්‍යාන අරූපධ්‍යාන මගින් කෙලෙස් යටපත් කළත් අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමාවූ කවර විටෙක වූව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් උසස් වූවත් ලෞකිකය. මෙසේ ඒ ලෞකික ධ්‍යාන වල මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නොමිදුණු ජාති ජරාදි දුකින් නොමිදුණු ලෝකයෙන් ගොඩ නැගෙන්නට ලෝකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි. අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්‍රත්වයට මොනම දුකකට වත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නොව විපස්සනා භාවනාව වැඩීමෙනි. මේ බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.

ආනාපාන සති විපස්සනාව
මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකිය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්‍යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකිය.
ගණනා අනුබද්ධනා අවස්ථා
කායෙසු කායඤ්ඤතරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සාස - පස්සාසා (මහණෙනි, ඇතුල්වන හුස්ම පිටවන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි) යන ආනාපානසති සූත්‍ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි. එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනු නාම ධර්මයෙන් (චිත්ත චෛතසික) නොවේ.

 රූප රැසෙකි. පස් දිය සුළඟ හිරු රැස් සඳරැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැම රූප කලාපයෙක් ම පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජස් යන අටින් යුක්තය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි අපෝ තේජෝ වායු වර්ණ ගණ්ධ රස ඕජස් ශබ්ද යන නවයෙන් යුක්තය. පඨවි යනු තද ගතිය ය. ආපෝ යනු බැඳ ගන්නා කැටි කරන ගතියය. තේජෝ යනු ශීත ගුණයත් උෂ්ණ ගුණයත්ය. වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහ ය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නොහැකි සේ එකට බැඳී පවතී. පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි. හිරුරැස් සඳරැස් අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල්ය. රශ්මියක් ඇඟට වැදෙනවිට ම දැනෙයි, අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙන්නේ තද ගතියයි. පසෙහි තද ගතිය ප්‍රධානය, වතුරු යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛයි. ගින්නෙහි ධාතු සතර ම ඇතත් තේජෝ ධාතුව ප්‍රමුඛයි. සුළඟෙහි වායු ධාතුව ප්‍රමුඛයි. හුස්ම යනු ඉතා සියුම් වු රූප කලාප (රූප මිටි) රාශීන්ගේ පරම්පරාවකි. එහි විසිරිය නොදී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි. එහි කිසිවිටෙක ශීතය ද කිසිවිටෙක උණුසුම ද ඇති වනුයේ තේජෝ ධාතුව නිසා ය. හුස්මෙහි චලනය සිදුවනුයේ එහි ඇති වායු ධාතුවෙනි. ඇතුළට ඇදෙන ද පිටවන ද හුස්මෙහි ප්‍රධානයා වායු ධාතුවයි. මෙසේ හුස්ම යනු පෘථිවි ආදි සතර ධාතුන් ගේ මිටි රැසෙකි. සිරුර පුරාම ඇති නානාවිධ සියලුම වාතයෝ සතර ධාතුන්ගෙන් සැදුණු රූපකලාප සමූහයෝය.

හුස්ම නම් කිමෙක් දැයි පරීක්ෂා කොට විමැසීමේ දී ඒ පඨවි ආපෝ තේජෝ වායු යන එකට බැඳුණු සතර ධාතුන් ගෙන් යුත් රූප කලාප සමූහයෙක් යැයි විමැසුම් නුවණට හොඳට වැටහෙයි නම්. පෙනෙයි නම් ඒ යථාත්ත්වය දැකීම, දැනීම නම් වේ. හුස්ම නම් වූ විශේෂ දැයෙක් ඇතැයි කියා හෝ හුස්ම ගන්නෙක් පිට කරන්නෙක් ඇතැයි කියා හෝ සිතයි නම් පිළිගනී නම්, ඒ දැක්ම ඒ පිළිගැන්ම සත්කාය දෘෂ්ටිය යි. එක් ම හුස්මක් නාසයෙන් ඇතුල් ව කයට පිවිස නැවත පිටවේ යැයි පෘථග්ජන ලෝකයා සිතයි. ඇති සැටිය විමැසීමේ දී එය වැරැදි බව දැනෙයි. හුස්ම යනු තනි එක් දැයෙකැයි පිළිගැනීම සත්කාය දෘෂ්ටිය යි. හුස්ම යනු ධාතු රූප මිටි පරම්පරාවෙකි. එහි හැම ධාතු රූප මිටියෙක් ම ක්ෂණයක් සිට නිරුද්ධ ;වයි. එයින් ලැබුණ රුකුල ද ඇති ව ඊළඟට ඒ වර්ගයේ ම අන් රූප මිටි රැසෙක් ඇති වෙයි. එය ද ක්ෂණයෙන් බිඳෙයි. එයට අනතුරුව තව රූප මිටි රැසෙක් ඇති වෙයි. මෙසේ ක්ෂණයක් පාසා හැදෙමින් බිඳෙමින් දිගින් දිගට යන රූප මිටි සමූහයන්ගේ පරම්පරා මිස හුස්ම නමින් ගත යුතු තනි එක් දැයෙක් මෙහි නැත. පිටවනුයේ ඇතුල් වුන හුස්ම නොවේ. එහි පරම්පරාවේ පිටවන ක්ෂණයේ ඇති වූ හුස්ම රූප මිටි රැසෙකි. ඒ සියල්ල ක්ෂණ භංගුරය ක්ෂණයෙන් බිඳෙන්නේය.

“මම හුස්ම ගනිමි හුස්ම පිට කරමි” යනු ඒකාන්ත සත්‍යය නොවේ. ලෝක සම්මතිය අනුව ලොකව්‍යවහාරය අනුව කරන කථාවෙකි. රූප මිටි පරම්පරාවෙකි. ක්ෂණයක් පාසා හැදෙමින් දිගටම ඇති වන රූප කලාප පරම්පරාවෙකි. රූප සන්තතියෙකි යනුම ඇත්තය. හුස්ම ‘මම’ යැයි ගැන්ම හුස්ම ආත්ම කොට ගැනීමය. ‘මම හුස්ම ගනිමි. හුස්ම මගේ’ යැයි සිතුවොත් හුස්ම ආත්මීය වශයෙන් වරදවා ගැනීමයි. ක්ෂණයක් පාසා නැගෙන බිඳෙන, ‘හුස්ම’ යන නමින් වැහැරැවෙන හැම රූප මිටියක් ම ක්ෂණයෙන් බිඳෙයි. ක්ෂණභංගුරයි. අනිත්‍ය යි” මෙසේ සැලකීම ගණනා අවස්ථාවෙහි හුස්ම අරමුණු කොට අනිත්‍ය සංඥාව වැඩීම යි. හුස්ම නැමැති රූප මිටි පරම්පරාව කිමෙක, කුමක් ආධාර කොටගෙන එසේ පවතී දැ?යි බැලිය යුතු. එය රූප ශරීරය ආධාර කොට ගෙන පවතී යැයි පෙනෙයි. රූප ශරීරය කවර නම් දැයින් යුක්ත දැයි රූප ශරීරය කොටස් කොට විමැසිය යුතු. රූප ශරීරය යනු කෙස් ලොම් නිය දත් ආදී කුණු කොටස් තිස් දෙකෙක එකතුව මිස අනෙකෙක් නොවේ. කෙස් නම් කවරේ ද? එය ද පඨවි ආදී සතර මහා භූතයන් ම වු රූප කලාප මහ රැසෙකි. එහි ද ක්ෂණයක් පාසා හැම රූප මිටියෙක් ම බිඳෙයි. ලොම් ද මහා භූතමය වු රූප කලාප රැසෙකි. ඒ හැම රූප කලාපයෙන් ක්ෂණයෙන් බිඳේ. එය අනුව තව එකෙක් ඇති වේ. මේ සියල්ල කර්ම චිත්ත සෘතු ආහාර යන සතර හේතුන් ගෙන් ඇති වන දෑය. මෙසේ කේසාදි වු කුණප කොටස් දෙතිසක් ම වු ශරීරය ක්ෂණයක් පාසා හැදෙමින් බැඳෙමින් ගලන ගඟක් මෙන් දිගින් දිගට පවත්නා රූප පරම්පරා රැසෙකි. අනුබන්ධනා අවස්ථායෙහි ද ඇතුල් වන පිටවන හුස්ම ද ඉහත ගණනා අවස්ථාවෙහි කී පරිදි ම හැදි හැදි බිඳි බිඳි දිගින් දිගට යන රූප කලාප පරම්පරාවෙකියි, දැක්කැ යුතු.

ආශ්වාස ප්‍රශ්වාසයෙහි දී නාසය අගැ හෝ, උඩු තොලෙහි හුස්ම හැපීමේදී ඇති වන විඳීම (වේදනාව) නුවණින් බැලිය යුතු. ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකට ආධාර වූ කේශලෝමාදිමය වූ ඉතිරි මුළු ශරීරයේ ද කිසි තැනෙක කිසිවක් හැපීමේ දී ඇතිවන වේදනාව ද ඒ හැපීම නිසා ඇති වන ප්‍රනිත්‍ය සමූත්පන්න ධර්මයෙකි. එය ද හැම විට ම එකෙක් ම නොවේ. ඒ ඒ ක්ෂණයෙහි ඇති වේවී නැති වෙයි. කිසිවිටක සුඛ වේදනාව ද කිසි විටෙක දුක් වේදනාව ද කිසිවිටෙක උපේක්ෂා වේදනාව ද ඇති වේ. මෙසේ ගණනා අනුබද්ධනා අවස්ථා දෙක්හි ඇති වන වේදනාව නුවණින් බැලීම වේදනානුපස්සනාව ය. ඊළඟට ගණනා අනුබද්ධනා දෙකේහි ම “මම හුස්ම ගනිමි” යි හෝ “මම දික් හුස්මක් ගනිමි” යි නැතහොත් “කොට හුස්මක් ගනිමි” යි ආදීන් සිත් ඇති වේ. ඒ ඒ අවස්ථායෙහි චිත්ත විථියක් ඇති වේ. එක් රූප ක්ෂණයක් ඇතුළත චිත්තක්ෂණ 17 ඇතිව නැති වෙයි. ඒ සිත් සරාග ද විතරාග ද යනාදීත් සැලැකීම චිත්තානුපස්සනායි. මේ උඩකී හැම අවස්ථාවහි ම ඇතිව නැති වන රූප ක්ෂණයෙන් බිඳී යන බැවින් අනිත්‍ය යැයි ද, වේදනා සියල්ල ද ක්ෂණභංගුර බැවින් අනිත්‍ය යැයි ද, ඒ අවස්ථාහි ඇති වන සියලු සිත් ද ක්ෂණයෙන් බිඳෙන බැවින් අනිත්‍ය යැයි ද එහෙයින් ම දුක් යැයි අනාත්ම යැයි ද ඒවා අනිත්‍යාදි වශයෙන් බැලීම ධම්මානුපස්සනායි. ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තබන උපචාර අර්පණා (ප්‍රථාමාදිධ්‍යාන) අවස්ථාවල දී ඒ සමාධියෙන් නැගී සිට සමවන් අවස්ථාව පිරීක්ෂා බලමින් විපස්සනාව වැඩිය හැකියි. සමාධියෙන් නැගීසිට ධ්‍යානංගයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කළ යුතුය. ඒ මගින් වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා තුනම වැඩිය හැකිය. මෙහිදී බොධ්‍යංගයන් වැඩෙන හැටි සැකෙවින් දැක්වේ. ආනාපාන සතිය පටන්ගත් තැන් සිට ම සතිය (එළඹැ වූ සිහිය) හැම මොහොතෙහි ම වඩ වඩා බලවත් වේ. ඒ සතිම්බොජ්ක්‍ධංගය වැඩීමයි. එසේ ම ආශ්වාසාදීන් නුවණින් පිරික්ෂා බැලීම ද ක්‍රමයෙන් වැඩේ. මේ ධම්මවිචය සම්බොජ්ඣංගය යි.

මුල සිටම යෝගියා ගේ භාවනාවෙහි උත්සාහය වැඩේ. ඒ විරිය සම්බොජ්ඣංගය වැඩීමයි. ධ්‍යාන අවස්ථාවට භාවනාව දියුණු වූ පසු උපචාර ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන දෙක්හි දී ප්‍රීතිය බලවත් ව ඇති වේ. ඒ ප්‍රීති සම්බොජ්ඣංගය වැඩීමයි. ්‍යානාංග පූර්ණ ව ඇති වීමෙන් සිතේ සංසුන් බව ඇති වේ. මේ පස්සද්ධී සම්බොජ්ඣංගය යි. පස්සද්ධිය නිසා සමාධිය වැඩේ. මේ සමාධි සම්බොජ්ඣංගය යයි. හුස්ම ගැනීමේදීත් පිට කිරීමේදීත් චිත්ත චෛතසිකයෝ ඒ ඒ ක්‍ෂණයෙහි හුස්ම අරමුණු කෙරෙමින් නැගි නැගි බිඳීයෙත්. එහි ‘මම’ හුස්ම ගනිමි යි පිට කරමි යි සිතීමක් මිස ‘මම’ යැයි වෙන් කොට ගත යුතු නොනැසී රැඳී සිටිනා කිසි දැයෙක් නැත. එය විමසනුයෙහි දී ඇති වන සතිය විරිය ඤාණ යන ධර්මයෝ ද ක්‍ෂණික ව ඇති ව නැති ව යන චෛතසිකයෝ ය. මෙය මෙසේ දැකීම දිට්ඨි විසුද්ධිය ය. මේ චිත්ත චෛතසික රූප කෙසේ ඇති වේදැ? යි විමසීමේ දී පටිච්චසමුප්පාද ධර්ම ක්‍රමය සිතට පැහැදිලි වේ. එයින් ශාශ්වත උචේඡද දෘෂ්ටි ද සජීවාජීව සියල්ල දෙවියකුගේ හෝ බඹකු ගේ නිර්මාණයෙකැයි යන දෘෂ්ටිය ද සියල්ල පෙර අත්බව්හි කළ දෑවල ම විපාකයැ යි යන පුබ්බෙකත හේතුවාද දෘෂ්ටිය ද සියල්ල අදිච්ඡ සමුප්පන්නව (යදෘච්ඡා සමුත්පන්නව) හේතුවක් ප්‍රත්‍යයක් නැති ව ඉබේ හටගනිතැයි යන දෘෂ්ටිය ද යන මිත්‍යා දෘෂ්ටි තුන දුරු වේ. අතීත තුන් කල්හි පැවැත්ම පිළිබඳ සැකය දුරු වේ. හෙවත් කංඛා විතරණ විශුද්ධිය ඇති වේ. මෙයට පසු සංස්කාරයන් හෙවත් නාම රූ ධර්මයන් නානා සැටියෙන් පිරික්සා බලන යෝගියාට ඔහු ගේ භාවනාමය පිරිසුදු සිතින් කය පුරා හට ගෙන පැතිරෙන චිත්තජ රූපකලාපයන් නිසා සිරුරෙන් එළිය විහිදෙන්නා පෙනෙන්නට වෙයි. සිතෙහි බලවත් ප්‍රීතිය නැඟෙයි. සිත කය දෙකේ මහත් සංසිඳුණු බවෙක් දැනෙයි. බලවත් ශ්‍රද්ධාව ඇති වෙයි. බලවත් විර්යයක් ඇති වෙයි. මහත් සුව පහසුවෙක් දැනෙයි. නුවණ තියුණු වෙයි. ස්මෘති ශක්තිය ද ප්‍රබල වෙයි. තත්‍රමධ්‍යස්ථතා උපේක්ෂා ගුණය බලවත් ව නැගෙයි. ලබා ඇති දෑ කෙරෙහි බලවත් ව ඇලෙයි. සමහර යෝගියෙක් මගේ විපස්සනා වැඩීම සමෘද්ධ වී යැයි මම් රහත් බව ලදිමි’ යි එයින් රැවැටෙයි. ‘කළ යුතු දෑ කොට නිම කෙළෙමි’ යි විපස්සනා වැඩීම නවත්තයි. එයින් රහත් වූයෙකිමි යි අධිමානයෙන් යුක්තව පෘඨග්ජනාවස්ථායෙහි ම රැඳී හිදී. එහෙත් ආචාර්ය ආශ්‍රය ලබමින් භාවනා කරන යෝගියා මේ ඇති ආලෝකාදි දශය උපක්ලේශයෝයි තේරුම් ගෙන ඒවා කෙරෙහි ඇල්ම හැර දමා යළිත් පළමු සේ ම නාම රූපයන් විවිධාකාරයෙන් බලමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ දැනීම වඩයි.

ආලෝක ප්‍රීති ආදි දශ උපක්ලේශයන් හැඳින ගෙන මේ නො ම¼ඟ යැයි දැන නාම රූපයන් නානා නයින් තිලකුණට නගා විදර්ශනා ඥානය වැඩීමට බට අවස්ථාව මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධි අවස්ථාවයි. නාම රූපයන් තිලකුණට නඟා විදසුන් වඩන යෝගියාට නාම රූපයන් ක්‍ෂණයක් පාසා ඉපැදීමත් නැසී යෑමත් ඉතා ප්‍රකටව දැනෙන්නට පෙනෙන්නට වෙයි. මේ උදයව්‍යය ඥානය පහළ වීමයි. නාම රූපයන් ගේ හටගැන්මත් නැසීමත් නැවැත නැවැත විමැසුම් නුවණින් බලන යෝගියාට ඒ සියලු සංස්කාරයන්ගේ ක්‍ෂණික භංගය ක්‍ෂණික මරණය ඉතා බලවත් ව දැනෙන්නට පෙනෙන්නට වෙයි. මේ භංගඥානය පහළ වීමයි. භංගඥානය අනුව සංස්කාරයන් ගේ සැටි බලන යෝගියාට සියලු සංස්කාරයන් සියලු නාම රූපයන් මරණය නම් දැයෙකින් ඇති වූවන් සෙයින් නාම රූපයන් ගේ ක්‍ෂණභංගුරත්වය ඉතා ප්‍රකට ව වැටහෙන්නට වීමෙන් ‘තමාය ආත්මභාවය’ යන නම් වලින් වැහැරැවෙන මේ නාම රූප වැල මහත් භයක්වැ උවදුරක් වැ පෙනෙන්නට වෙයි ලැවු ගින්නකට හසු වූවකුට සෙයින් මහත් බියෙක් ඇති වෙයි. මේ භය ඥානය යි. නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ. හෙවත් ආදීනව ඥානය පහළ වේ. නාම රූපයන් ගේ ආදීනව (දෝෂ) යළි යළි විමසා බලන ඔහුට නාම රූපයන් කෙරේ බලවත් කලකිරීම ඇති වේ හෙවත් නිබ්බිදා ඤාණය පහළ වේ.

මෙසේ සංස්කාරයන් කෙරෙහි කලකිරුණු යෝගියාට ‘මෙයින් මිදී ගනිමි’යි ‘අසංඛත ධාතුවෙහි පිහිටමි’ යි යන දැනීම ඇති වේ හෙවත් මුංචිතුකම්‍යතා ඤාණය පහළ වේ. මිදීමට කැමැත්තා ඒ සංස්කාරයන් ගේ තත්ත්වය තව තවත් කලින් බැලුවාටත් වඩා විවිධ ආකාරවලින් පිරික්සන්නට වෙයි. එයින් කලටත් වඩා ත්‍රිලක්ෂණ ප්‍රකට ව දකී හෙවත් ඔහු තුළ පටිසංඛානුපස්සනා ඤාණය පහළ වේ. මීළඟට මෙතෙක් දුරට වැඩූ විපස්සනාවේ මුදුන් පත් අවස්ථාව ඇති වේ. මධ්‍යස්ථ වශයෙන් සංස්කාරයන් දක්නා යෝගියා විපස්සනාවේ කෙළවරට පත් වේ. පෘථග්ජන අවස්ථාවෙන් ගොඩනැගී ලෝකෝත්තර තත්ත්වයට ළං වන අවස්ථාවට පැමිණේ. ගොඩ සිට නැවකට නගින්නා ගොඩ එක් පයක් ද අනිත් පය නැවේ ද තබයි. එමෙන් ම මෙතෙක් දුරට වැඩූ විදර්ශනා ඥානයට අනුකූල වූ ඉදිරියේ ලබන මාර්ග ඥානයටත් අනුකූල වූ නුවණෙක් පහළ වෙයි ‘එය අනුලෝම ඥාන සංඛාරුපෙක්ඛා විපස්සනා. සිඛාප්පත්ත විපස්සනා. උට්ඨානගාමිනි විපස්සනා යන නම් වලින් ද හැඳින්වෙයි. උදයව්‍යය ඥානය පටන් කොට අනුලෝම ඥානය අවසන් කොට ඇති වන මේ නව මහා විදර්ශනා ඥානයෝ පටිපදා ඤාණ විසුද්ධි නමින් හැඳීන්වෙත්.

අනුලෝම ඥානයට අනන්තරව (එය ළඟට ම අතරක් නැතිව) ලෞකික ගෝත්‍රය (අවස්ථාව) ඉක්මැ ලෝකෝත්තර අවස්ථාවට සිත් පරම්පරාවේ නැගීම සිදු කිරීම් වශයෙන් ඒ තාක් ම අරමුණු කළ සංස්කාරයන් අත්හැර එකෙණෙහි ප්‍රකට වූ නිර්වාණ අරමුණෙහි එල්බෙමින් ගෝත්‍රභු ඥානය පහළ වේ. ඊළඟට ම ඒ නිවන් අරමුණේ ම එල්බ සෝතාපත්ති මග්ගඤාණ සිත ඇතිවේ. සංස්කාරයන්ගේ දුක්ඛ ස්වභාවය තතු සේ දැකීම.
සමුදය ප්‍රහාණය හෙවත් අවිද්‍යා තෘෂ්ණා දෙකේ අවයව වූ සක්කාය දිට්ඨි සීලබ්බත පරමාස, විචිකිච්ඡා යන කෙලෙසුන් මුල් සුන් කිරීම හා ඉතිරි කෙලෙසුන් දුබල කිරීම, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කිරීම හෙවත් නිවන දැකීම මාර්ගය වැඩීම (සම්මා දිට්ඨි ආදී මාර්ගාංග අට මුහුකුරා එක ම සිතේ පහළවීම) යන සතර කෘත්‍යය මේ පලමු වන මාර්ග (ලෝකෝත්තර) කුසල් සිතින් සිදු කැරෙයි. සක්කාය දිට්ඨි ආදී කෙලෙසුන් මුලින් ම නැසී යන්නා හා ම කාමච්ඡන්දාදී සෙසු නීවරණ මෙහි දී විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ. එබැවින් වෙන ම ධ්‍යාන වැඩුවත් නොවැඩුවත් මේ සෝතාපත්ති මග්ග චිත්ත යැයි කියනු ලැබේ. මාර්ග සිත ක්‍ෂණයෙන් නිරුද්ධ ව එයට අනතුරුව එයට සමාන අංගවලින් ම යුත් සොතාපත්ති ඵල සිත දෙවරක් හෝ තුන් වරක් පහළ ව නිරුද්ධ වේ. එයින් කැරෙනුයේ මාර්ග සිත විසින් නසා දමන ලද සක්කාය දිට්ඨි විවිකිච්ඡා සීලබ්බත පරාමාස යන කෙලෙසුන් නිසා සසර දී දිගට ම ඇති වෙවී ආ කෙලෙස් විඩාව සංසිදී යෑම යි. මේ සෝවාන් වීමට දහම් ඇස (ධම්මචක්ඛු) පහළ වීම. නිවන් දැකීම යැයි බැවහර වේ.

තව ඉදිරියට යනු කැමැති යෝගියා යළිත් පළමු සේ ම නාමරූප විදර්ශනාව වඩයි. එය මුහු කළ විට පළමු සේ ම නව මහා විදර්ශනා ඥානයන් පළමු වාරයට වඩා බලවත් ව වැඩී ගොස් ඉතිරි කෙලෙස්වල ශක්තිය හීන කරමින් දෙවෙනි මාර්ග සිත හෙවත් සකදෘගාමී මාර්ග සිතත් ඊළඟට ම ඵල සිතත් දෙවරක් හෝ තුන්වරක් පහළ වේ. මේ දෙවෙනි මාර්ග සිතට සකදාගාමී (සකෘදාගාමි) මග්ග චිත්තය යි ද ඵල සිතට සකදාගාමී ඵල චිත්තයැ යි ද කියනු ලැබේ. සකදාගාමී (සකෘදාගාමි) යන්නෙහි අර්ථය තව එක් වරක් එන තැනැත්තා හෙවත් කාමභවයෙහි එක්වරක් පමණක් උපදින තැනැත්තා යනු යි. ඔහු තුළ කාමභවය කෙරෙහි තුනී වූ ඇල්ම ඉතිරි බැවින් මෙය සිදු වේ. යෝගියා තවදුරටත් පළමු සේ ම නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඒවා මුහුකුරා යෑමෙන් අනාගාමී වේ. අනාගාමි මාර්ග සිතත් එය ළඟට ම පිළිවෙළින් එහි ඵල සිත් දෙකෙක් හෝ තුනෙක් පහළ වේ. අනාගාමි මාර්ග සිත පහළ වීමෙන් කාමරාග ව්‍යාපාද, දෙක වැනසෙයි එහි ඵළ සිතින් එකී කෙලෙස් නිසා එතෙක් පැවැති විඩාව දුරු ව සිතට මහත් පහසුව ලැබේ. අනාගාමී යන්නෙහි අර්ථය ආයෙත් මෙහාට (මේ කාමභාවයටත් පහත් රූප ලෝකවලටත්) උත්පත්ති වශයෙන් නො එන තැනැත්තා යනුයි. විපස්සනා වැඩීම එතෙකින් නවතා සිටියොත් හේ මරණින් මතු ශුද්ධාවාස බඹලොවෙක උපදී එහි දී විදසුන් වඩා රහත් වෙයි. ඉදින් හේ මතු භවයට කල් නො දමා පළමු සේ ම යළිත් නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඉතිරි කෙලෙස් හෙවත් රූපරාග අරූපරාග මාන උඞච්ච අවිජ්ජා යන සංයෝජන පස ම මුලිනුදුරා දමා රහත් වෙයි. රහත් මග සිත පහළ ව කෙලෙස් මුලිනුදුරා ලීමට අනතුරු ව ඒ උදුරා ලූ සියලු කෙලෙසුන් නිසා එතෙක් පැවැති කෙලෙස් විඩාව දුරු කොට මහත් ම පහසු ව උදා කෙරෙමින් රහත් ඵල දෙකක් හො තුනක් පහළ ව නිරුද්ධ වේ.

මේ පරම පවිත්‍රතාවට පත් අග්‍රම ඵලය ලැබූ පුද්ගලයා රහතුන් වහන්සේ නමින් හැඳින්වේ. උන් වහන්සේ ලබා ඇති ස්කන්ධ පසින් යුක්ත ව ඉන්නා තාක් විටින් විට නිවන සිතින් අරමුණු කොට එහි සිත පිහිටුවා ගෙන එයින් ලැබෙන ශාන්ත සුවය විඳින සේක. මෙය විමුක්ති සැප විදීම නමින් හැඳින්වේ. ස්කන්ධ පරිනිර්වාණයට පෙර උන් වහන්සේ අරමුණු කරන සිත පිහිටුවා තබන ඒ නිර්වාණ ධාතුව සඋපාදීශෙ නිර්වාණ නමින් හැඳින්වේ. මේ සතර මාර්ග ඥාන ලැබීමෙන් වන පිරිසිදු බව ඥාන දර්ශන විශුද්ධි නම් වේ. විශේෂයෙන් ධ්‍යානයක් නො වඩා විදර්ශනාව වඩා සෝවාන් වූ තැනැත්තාට සෝවාන් වීමේ දී ම ස්වභාවයෙන් ප්‍රථම ධ්‍යානය ඇති වේ යැයි යට කියන ලදී. ඒ තැනැත්තා සකෘදාගාමී අරහත් යන සතර අවස්ථාවට පත් වීමේදීත් ඒ සියලු මාර්ගඵල සිත් ප්‍රථම ධ්‍යාන සහගත වේ යැයි දත යුතු. සේවාන් වූ පසු සමහරු ඉතිරි ධ්‍යාන වඩත්. ඒ අයගේ මාර්ග සිත් ඵල සිත් ඒ ලබා ගත් ධ්‍යානයෙන් යුක්ත වේ. ශීලයෙහි පිහිටා ආනාපාන සතිය වැඩූ තැනැත්තා මෙහි කී පරිදි ආනාපන ශමථය වඩා ලෞකික ධ්‍යාන ලබා විශ්කම්බන ප්‍රහාණයෙන් චිත්ත ශමථය ද විදර්ශනාව වඩා මාර්ගඵල ලැබීමෙන් කෙලෙසුනුත් කෙලෙස් විඩාවත් සහමුලින් නසා පරම විශුද්ධියට පරම ශක්තිය ලැබීමට නිවන් සුව අත්පත් කිරීමට සමත් වෙයි.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි


free counters