භාවනා Meditation: ඒ ඒ චරිතයාට ඒ ඒ කමටහන්

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

ඒ ඒ චරිතයාට ඒ ඒ කමටහන්

පුද්ගලයාගෙන් පුද්ගලයාට චරිත ස්වභාවය වෙනස් වෙයි. ඒ ඒ එකිනෙකාට සුදුසු භාවනා නිමිත්ත, ගුරුවරයාගේ රුචි-අරුචිකම් අනුව නොව, මේ එක් එක් චරිතයේ ස්වභාවය අනුවම විය යුතුය.

පුද්ගලයන්ගේ ස්වභාවය හෝ සහජ පිහිටි ගතිගුණය චරියාව (චරිතය) නම් වේ. එකී චරිත ප්‍රධාන වශයෙන් සයක් බව විසුද්ධි මාර්ගයේ සඳහන් වේ. ඒවා නම්: 1. රාග චරිත, 2. දෝස චරිත, 3. මෝහ චරිත, 4. සද්ධා චරිත, 5. බුද්ධි චරිත සහ 6. විතක්ක චරිතය.
මේවායේ මිශ්‍රණයෙන් තවත් චරිත අටක් ලැබෙයි. ඒ මෙසේය: 1. රාග දෝස චරිත, 2. රාග මෝහ චරිත, 3. දෝස මෝහ චරිත, 4. රාග දෝස මෝහ චරිත, 5. සද්ධා බුද්ධි චරිත, 6. සද්ධා විතක්ක චරිත, 7. බුද්ධි විතක්ක චරිත, 8. සද්ධා බුද්ධි විතක්ක චරිත වශයෙනි.
කමටහන් බොහෝ ගණනක් ඇත්තේ සෑම දෙනාටම ඒ සියල්ල වැඩීම පිණිස නොව, තම–තමන්ට වඩා ගැළපෙන කමටහන් තෝරාගෙන භාවනා කරනු පිණිසය. ගැළපෙන කමටහන් තෝරාගෙන භාවනා කරන්නාට ඉක්මනින් සමාධිය ලැබිය හැකිය.
ගමනාදි ඉරියව්වෙන්ද ඇඳුම්-පැලඳුම් ආදියෙන් හා ඒවා අඳින පලදින ආකාරයෙන්ද පි‍්‍රය කරන ආහාර වශයෙන්ද ආහාර අනුභව කරන ආකාරයෙන්ද වාසස්ථාන තබාගෙන තිබෙන ආකාරයෙන්ද ඇමදීම හෝ අනෙකුත් කාර්යයන් කරන ආකාරයෙන්ද කෙනකු කුමන චරිතයකට අයත්දැයි විමසා බැලිය යුතු බව විමුක්ති මාර්ගයෙහි දක්වා තිබේ.
රාග චරිතයා
බොහෝ සෙයින් රාගය ඇති බව, වස්තුන්ට හා පුද්ගලයන්ට තදින් ඇලුම් කරන බව, කෑම-බීම්, ඇඳුම්-පැලඳුම්, ශරීරය ආදිය ලස්සනට තබාගැනීමට බොහෝ ඇලුම් කරන බව, වාසස්ථානය හා භාණ්ඩ ලස්සනට හා පිළිවෙළට තබාගැනීමට කැමැති බව රාග චරිතයාගේ ලක්ෂණයෝය. දන් දීමට අකැමැතිය. රාග චරිතයා ඉරට මුහුණලා යෑමට රුචි කරයි. පි‍්‍රය අරමුණු දෙස විස්මිත වූවකු සේ බලා සිටී. ආහාර අනුභවය රසවිඳිමින් හෙමින් සීරුවේ කරයි. ඇතුගෑම් ආදිය කෙරේ නම් වැලි නොවිසුරුවමින් මැනවින් එය කරයි. කොතෙක් ලදත් සෑහීමකට පත් නොවේ. ගමන් කරන විට සෙමෙන් සමව පා නගයි. නිදන විට ඇඳ යහමින් පනවා ප්‍රසාදජනකව නිදයි. නැගිටින විට සැකඇතියකු සේ පුබුදියි. තමා කැමැති වැඩවල බොහෝකල් නියැලේ. හෙමින් සීරුවේ එය කරයි. ඇඳුම්-පැලඳුම් විසිතුරුය. දුටුවන් පහදින සේ අඳියි. මිහිරි ආහාරපානයටත් සිසිල් දේශගුණයටත් කැමැතිය. මිත්‍රයෝ බොහෝ සිටිත්. මිශ්‍ර පාටටත් තද වර්ණයටත් කැමැතිය. ඇතැමෙක් වඩාත් ළා පාටටත් ඇලුම් කරයි. මොහුගේ කථාව සුකොමලය.
මෙහි දැක්වූ චරිතයා තුළ දෝස-මෝහාදියද නැතුවා නොවේ. දෝස-මෝහාදිය ඇතත් රාගය බහුලව ඇති බවම සලකා රාග චරිතයායැයි වෙන් කරන ලදි. අනෙක් චරිතයන් ගැනද එසේමය.
දෝස චරිතයා
ද්වේෂය බහුල තැනැත්තා ද්වේෂ චරිතයාය. වැරදි සෙවීමට කැමැතිය. අනුන්ගේ ගුණ සෙවීමට මැළි කරයි. ගමන් කරන විට පතුල් අගින් බිම සාරන්නකු මෙන් පාද වහා බිම තබා වහා උඩට නගයි. නිදීමේදී යන්තම් දෙයකින් යහන පනවා මුළු ඇඟම හෙළාලන ලදුව මුහුණත් හකුලුවාගෙන නිදයි. නැගිටින කලද කිපි එකකු සේ ප්‍රතිවචන දෙයි. අමදින විටද දෙපස වැලි නගමින් රළු හඬින් විෂම කොට අමදියි. ඇඳුම් අඳින විටද පිළිවෙළක් නොබලා එය කරයි.
නිතර කිපෙන බව, ඉතා සුළු කරුණකටත් තරහින් කථා කරන බව, අනුන් හා වැඩි කල් මිත්‍රව නොවිසිය හැකි බව කටුක ආහාරවලට (මිරිස් ඇඹුල් ආදි) රුචි කරන බව මෙම චරිතයේ තවත් ලක්ෂණයෝය. මොහුගේ කථාව ගොරහැඬිය. සම හෝ උණුසුම් දේශගුණයට කැමැතිය. තද පාටටත් තනි පාටටත් ඇලුම් කරයි. ළාපාටට කැමැති අයද සිටිති. දැඩි සිත් ඇත්තෝ කළු පාටටත් රතු පාටටත් රුචි කරයි. වාසස්ථානය පිළිවෙළකට තබාගැනීමට උත්සාහයක් නොකරයි. හිටගෙන හෝ නිදාගෙන වැඩි කල් ගත කිරීමට රුචි වෙයි. වැඩ කිරීමේදී වැඩි කැමැත්තකින් නොකරයි. වැඩි වේලාවක් ගත නොකොට ඉක්මනින් අවසන් කිරීමට මාන බලයි.
මෝහ චරිතයා
මෝඩකම අධික තැනැත්තා මෝහ චරිතයාය. ගැඹුරු කරුණු තේරුම් ගැනීමට අසමත්කම, රැවටෙනසුලු බව, අනුන්ගේ කීම් අනුව කටයුතු කරන බව, පිළිගත් මත අත්හැරගන්නට දුෂ්කර බව මෙහි ලක්ෂණයෝය. මෝහ චරිතයා සක්මනින් වැඩි කල් යවන බව සඳහන් වේ. නිදීමේදී යහන අවුල් සේ පනවාගෙන කිසි පිළිවෙළක් නැතිව නිදයි. මුණින් අතට නිදයි. නැගිටින කල ‘හූම් හූම්’ කියමින් මැළිකමින් නැගිටියි. අමදින විට එහෙන් මෙහෙන් කුණු ඉතිරි වන පරිදි අමදියි. ඇඳුම් බුරුල් ලෙස කිසි පිළිවෙළකට නැතිව අඳියි. වාසස්ථානය ඉතා අවුල්ය. කිසි දෙයක් පිළිවෙළකට තබා නැත. මිහිරි ආහාරපානවලට කැමැතිය. ඇඹුල්ද පි‍්‍රය කරයි. සම හෝ උණුසුම් දේශගුණය රුචි කරයි. මෝහ චරිතය කම්මැළිය. වැඩ කිරීමේදී උදාසීන ගති පායි. වැඩි වේලා නොකරයි. තමන්ගේ නුවණ යොදා වැඩ කිරීමට නුපුළුවන. කථාවේ ස්වරයද පැහැදිලි නැත. කථාවද අවුල්ය.
ශ්‍රද්ධා චරිතයා
ශ්‍රද්ධාව අධික තැනැත්තා ශ්‍රද්ධා චරිතයාය. දෙනු කැමැති බව, ගුණවතුන් දකිනු කැමැති බව, ධර්මය ඇසීමට පි‍්‍රය කරන බව, පී‍්‍රතිය බහුල බව මොහුගේ ලක්ෂණයෝය. ඇතැම් කරුණුවලින් රාග චරිතයාට සමානය. වැඩිහිටියන්ට ගරු කරන බව කීකරුකම හා යටහත්-පහත් පැවතුම් ඇති බවද මොහුගේ තවත් ලක්ෂණයෝ වෙති. ළා පාටටද තනි වර්ණයටද කැමැතිය. මිහිරි ආහාරය පි‍්‍රය කරතත් රාගචරිතයා මෙන් ගිජුකමක් නොදක්වයි. ඇඳුම්-පැලඳුම් ආදිය චාම්ය. එහි විසිතුරු බවක් නැත; පි‍්‍රයශීලිය. කිරීමට ඇති වැඩකටයුතු කම්මැළිකමක් නොදක්වා දිගු වේලාවක් වුවත් කරයි. වාසස්ථානය බොහෝදුරට රාග චරිතයාට සමානය. බුදු පිළිම, බුද්ධ රූප ආදියට ඇලුම් කරයි. මනා කොට නිදයි. මනා කොට පුබුදියි. මොහුගේ කථාව මෘදුය.
බුද්ධි චරිතයා
ගැඹුරු දේ තේරුම් ගැනීමට සමත් බවත්, අමුතු දේ කල්පනා කිරීමට ඇලුම් කරන බවත් උගත් අය ඇසුරට පි‍්‍රය කරන බවත් ඔහුගේ ලක්ෂණයෝය. සුවච බව, කලණ මිතුරන් ඇති බව, ආහාරයේ පමණ දන්නා බව, සිහිනුවණ ඇති බව, විමසා බලා කටයුතු කරන බව, අනුන් කී පමණින් යමක් නොපිළිගන්නා බව මොහුගේ තවත් ගති වෙති. වාසස්ථානය සරලය; ක්‍රමානුකූලය. යම් යම් පැවතුම් මඟින් දෝස චරිතයාගේ හැසිරීම්ද පෙන්නුම් කරන බව කියනු ලැබේ. කථාවෙහි දක්ෂය; කාරණයට අදාළය. වියත් අදහස් දැක්වීමේ හැකියාව ඇත. ළා වර්ණයටත් තනි වර්ණයටත් රුචි කරයි.
විතර්ක චරිතයා
කල්පනා බහුල තැනැත්තා විතර්ක චරිතයාය. සිත එකඟ කිරීමට අපහසු බව, දොඩමලු බව, ලක්ෂණය. බොහෝ දෙනා සිටින තැනකට ගොස් කථා කිරීමටත් තනියෙන් සිටින විට කල්පනා කරමින් සිටීමටත් පි‍්‍රය කරයි. කුසල් කිරීමේ සතුටක් නැති බව, ඉක්මනින් අදහස් වෙනස් වන බව හා වැඩි කාලයක් වැඩ කිරීමට නොහැකි බව, වැඩක් සාර්ථක අයුරින් නිම කිරීමට නොහැකි බව මොහුගේ ලක්ෂණයෝය. වාසස්ථානය මෝහ චරිතයාට කි පරිදියි. ඉතා අවුල්ය. ඇඳුම්-පැලඳුම්, පොත්පත්, අහුරා තැබීම කිසි පිළිවෙළක් නැත. ඔහුගේ අදහස් නිතර වෙනස් වන බැවින් එක් වෙලාවක කී දේ පසු අවස්ථාවක වෙනස් කරනසුලුය. රුචි කරන එකම වර්ණයක් නැත. රසයක් තේරීමද එසේමය. ලිපියක් හෝ වෙන යමක් ලිවීමේදී තැන තැන කුරුටුගාමින් අසෝභන ලෙස එය කරයි.
චරිතයනට සුදුසු කමටහන්
රාග චරිතයාට
දස අසුබය සහ කායගතා සති යන එකොළොසයි. දස අසුබය නම් මළ මිනී ආශ්‍රයෙන් කරන භාවනාවයි. කායගතා සති නම් ශරීරයේ පිළිකුල් බව මෙනෙහි කිරීමයි. රාගයට ප්‍රතිපක්ෂ බැවිනි.
දෝස චරිතයාට
බ්‍රහ්ම විහාර සතර (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර) සහ නීල, පීත, ලෝහිත, ඕදාත යන වර්ණ කසිණ සතරද යන අටයි. ද්වේෂයට ප්‍රතිපක්ෂ බැවිනි.
මෝහ චරිතයාට සහ විතර්ක චරිතයාට
ආනාපාන සතියයි.
සද්ධා චරිතයාට
අනුස්සති (බුද්ධ, ධම්ම, සංඝ, ශීල, චාග, දේවතා) සයයි.
බුද්ධි චරිතයාට
මරණ, උපසම (නිවන) යන අනුස්සති දෙක හා චතුධාතු වවත්තානද ආහාර පටික්කූල සංඥාවද යන සතර ගැඹුරු බැවින් බුද්ධි චරිතයාට සප්පාය වේ.
චරිත සයටම
පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආලෝක, ආකාශ යන කසිණ සයද ආරුප්ප (අරූප ධ්‍යාන) සතරද යන දහය යෝග්‍ය වෙයි.


free counters