භාවනා Meditation: ආනාපානසති භාවනාව

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

ආනාපානසති භාවනාව

පොල්පිටිමූකලානේ 
පඤ්ඤාසිරි හිමි

අප තිලෝගුරු ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ මේ තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ බව අපි සියලු දෙනාම දන්නව. උන්වහන්සේ අපට අපගේ මනස දියුණු කර ගන්නා ආකාරය ඉතා මැනවින් දේශනා කළා. සමථය හා විදර්ශනාව වැඩීමට තමයි උන්වහන්සේ අපට කියල දුන්නෙ. එහිදී සමථ භාවනාවට අයත් උදාරතර භාවනාවක් තමයි ආනාපානසති භාවනාව. මේ පිළිබඳව ඉගැන්වෙන උතුම් දේශනාවක් තමයි සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ ඒකධම්ම වර්ගයේ දහවන සූත්‍රය. ඒ සූත්‍රයේ නම කිම්බිල සූත්‍රය. මේ දේශනාව අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිම්බිල තෙරුන්ට.
ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියෙ කිම්බිල නුවර සමීපයෙහි වේළුවනාරාමයේ. එහිදී බුදුරජාණන් වහන්සේ කිම්බිල තෙරුන්ට මේ විදියට දේශනා කළා. කොහොම භාවිත කරන ලද, කොහොම බහුලව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංශ වෙයිද? කියල. එතකොට කිම්බිල හාමුදුරුවෝ නිශ්ශබ්ද වුණා. දෙවෙනි වතාවටත්, තුන්වෙනි වතාවටත් අපේ භාග්‍යවතුන් වහන්සේ කිම්බිල තෙරුන්ව ආමන්ත්‍රණය කළා. ඒත් උන්වහන්සේ නිශ්ශබ්ද වුනා. අන්න ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ අපේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. ඒ ආනාපානසති සමාධිය පිළිබඳව දේශනා කරන්න කියලා.

ආනාපාන සතිය

එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව. භික්ෂුව අරණ්‍යයකට හරි රුක් සෙවණකට හරි, ශුන්‍යාගාරයකට හරි ගිහිල්ල. පළඟක් බැඳගෙන උඩුකය ඍජුකරගෙන , මුහුණ ඉදිරියේ සිහිය පිහිටුවල වාඩිවෙනව. ඊට පස්සෙ ඒ සිහියෙන්ම හුස්ම ගන්නව. සිහියෙන්ම හුස්ම හෙළනව. දීර්ඝව හුස්ම ගන්නකොට දීර්ඝව හුස්ම ගන්නව කියල දැන ගන්නව. දීර්ඝව හුස්ම හෙළන කොට දීර්ඝව හුස්ම හෙළනව කියල දැන ගන්නව. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම ගන්නව කියල දැන ගන්නවා. කෙටියෙන් හුස්ම හෙළනකොට කෙටියෙන් හුස්ම හෙළනව කියල දැන ගන්නව. ඊළඟට සියලු ආශ්වාස කයම සංවේදී වෙමින් හුස්ම ගන්නව කියල පුහුණු වෙනවා. ඒ වගේම සියලු ප්‍රශ්වාස කයම සංවේදී වෙමින් හුස්ම හෙළනව කියල හික්මෙනව. කාය සංස්කාර නම් වූ ආශ්වාසය සන්සිඳුවමින් හුස්ම ගන්නව කියල පුහුණු වෙනවා. කාය සංස්කාර නම් වූ ප්‍රශ්වාසය සන්සිඳුවමින් හුස්ම හෙළනව කියල පුහුණු වෙනව.

ඊළඟට පී‍්‍රතියම සංවේදී වෙමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. පී‍්‍රතියම සංවේදී වෙමින් හුස්ම හෙළනව කියල හික්මෙනව. සැපයම සංවේදී වෙමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. සැපයම සංවේදී වෙමින් හුස්ම හෙළනව කියල හික්මෙනව. සංඥා වේදනා කියන චිත්ත සංස්කාරයන්ම සංවේදී වෙලා හුස්ම ගන්නව කියල හික්මෙනවා. සංඥා වේදනා කියන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙලා හුස්ම හෙළනව කියල හික්මෙනව.
සිත හා සංවේදී වෙමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. සිතත් එක්ක සංවේදී වෙලා හුස්ම හෙළනව කියල හික්මෙනව. සිත ප්‍රමුදිත කරවමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. සිත ප්‍රමුදිත කරවමින් හුස්ම හෙලනව කියල හික්මෙනව. සිත තැන්පත් කරවමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. සිත තැන්පත් කරවමින් හුස්ම හෙළනව කියල හික්මෙනව. නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. නීවරණයන්ගෙන් සිත මුදවමින් හුස්ම හෙළනව කියල හික්මෙනව.
ඊළඟට අනිත්‍ය අනුව දකිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙනවා. අනිත්‍ය අනුව දකිමින් හුස්ම හෙලන්නෙමියි හික්මෙනවා. නොඇල්ම අනුව දකිමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. නොඇල්ම අනුව දකිමින් හුස්ම හෙළනව කියල හික්මෙනව. ඇල්ම නිරුද්ධවීම අනුව දකිමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. ඇල්ම නිරුද්ධ වීම අනුව දකිමින් හුස්ම හෙළනව කියල හික්මෙනව. ඇල්ම දුරින්ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නව කියල හික්මෙනව. ඇල්ම දුරින්ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙළනව කියල හික්මෙනව.
මේ ආකාරයෙන් භාවිතා කරන ලද, බහුලව ප්‍රගුණ කරන ලද , ආනාපානසති සමාධිය මහත්ඵල මහානිශංස වෙනව කියල අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

කායානුපස්සනාව

ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනව භික්ෂුවක් දිගු ලෙස හුස්ම ගැනීම හා හුස්ම හෙළීම පිළිබඳවත්, කෙටියෙන් හුස්ම ගැනීම හා හෙළීම පිළිබඳවත්, සියලු ආශ්වාස කයම සංවේදී වෙමින් හුස්ම ගැනීම හා සියලු ප්‍රශ්වාස කයම සංවේදී වෙමින් හුස්ම හෙළීම පිළිබඳවත් , කාය සංස්කාර නම් වූ ආශ්වාස කය සන්සිඳුවමින් හුස්ම ගැනීම පිළිබඳවත් ,කාය සංස්කාරය නම් වූ ප්‍රශ්වාසය සනිසිඳුවමින් හුස්ම හෙළීම පිළිබඳවත් දැන ගනීද, පුහුණුවෙයිද ඒ අවස්ථාවෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, නුවණින් යුක්තවන සිහියෙන් යුක්තව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකරල කය පිළිබඳව කායානුපස්සනාවෙන් තමයි වාසය කරන්නෙ, බුදු රජාණන් වහන්සේ දේශනා කරනව ඒකට හේතුව හැටියට යම් මේ හුස්ම ගැනීමක්, හුස්ම හෙළීමක් තියෙනවද,මේක එක්තරා කයක්. ඒ නිසා භික්ෂුව ඒ අවස්ථාවේ කෙලෙස් තවන වීරියෙන් යුක්තව , නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකරල , කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරන බව තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නෙ.

වේදනානුපස්සනා

ඊළඟට උන්වහන්සේ දේශනා කරනව යම් අවස්ථාවක භික්ෂුවක් පී‍්‍රතියට සංවේදී වෙලා හුස්ම ගන්නව කියල හික්මෙනවද, පී‍්‍රතියම සංවේදී වෙලා හුස්ම හෙළනව කියල හික්මෙනවද, සැපයම සංවේදී වෙලා , සංඥා වේදනා යන චිත්ත සංස්කාරයන්ට සංවේදී වෙලා, ඒ වගේම චිත්ත සංස්කාරයන් සන්සිඳුවමින්, හුස්ම ගැනීම් හා හෙළීම් සිදුකරනව නම් ඒ වෙලාවේදී භික්ෂුව කෙලෙස් තවන වීර්යෙන් යුක්තව, නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයේ ඇලීම් ගැටීම් දුරුකරල විඳීම් පිළිබඳව වේදනානුපස්සනාවෙන් තමයි වාසය කරන්නේ. ඒකට හේතුව තමයි මේ හුස්ම ගැනීම, හුස්ම හෙළීම නියම ලෙස මෙනෙහි කරනව ඒක එක්තරා විඳීමක් කියල තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකරල විඳීම් පිළිබඳව වේදනානුපස්සනාවෙන් වාසය කරනව.

චිත්තානුපස්සනා

ඒ වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව යම් අවස්ථාවක භික්ෂුවක් සිත හා සංවේදී වෙමින්, සිත ප්‍රමුදිත කරවමින්, සිත තැන්පත් කරවමින්, නීවරණයන්ගෙන් සිත මුදවමින් , හුස්ම ගැනීම හා හෙළීම පිළිබඳව හික්මීමේදී භික්ෂුව ඒ අවස්ථාවේ සිදු කරන්නේ කෙලෙස් තවන වීර්යෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව ලෝකයේ ඇලීම් ගැටීම් දුරුකරල සිත පිළිබඳවත් චිත්තානුපස්සනාවෙන් වාසය කරනව. ඒකට හේතුව තමයි මුලා සිහි ඇති නුවණ නැති කෙනාට ආනාපානසති සමාධිය වැඩීමට කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකිරීම, ඒ නිසා ඒ අවස්ථාවේ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකරල සිත පිළිබඳව චිත්තානුපස්සාවෙන් වාසය කරනව.

ධම්මානුපස්සනා

ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ආනන්ද හාමුදුරුවන්ට මේ ආකාරයටත්, යම් අවස්ථාවකදී භික්ෂුවක් අනිත්‍ය අනුව දකිමින්, නොඇලීම අනුව දකිමින් ඇල්ම නිරුද්ධවීම අනුව දකිමින්, ඇල්ම දුරින්ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නව කියල, හුස්ම හෙළනව කියල හික්මෙනවද, භික්ෂුව ඒ අවස්ථාවෙහි කෙලෙස් තවන වීරියෙන් යුක්තව. නුවණින් යුක්තව ,සිහියෙන් යුක්තව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරකරල ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරනව. ඇලීම් ගැටීම්වල යම් ප්‍රහාණයක් තියෙනවනම් භික්ෂුව ඒක ප්‍රඥාවෙන් දැක දැක මනාලෙස වැදගත් බවට පත්වෙනවා. ඒ නිසා භික්ෂුව ඒ අවස්ථාවේ කෙලෙස් තවන වීරියෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකරල ධර්මයත් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරනව.
අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඉතාමත් කදිම උදාහරණයක් කියල දෙනව. සතර මං හන්දියක මහා පස්ගොඩක් තියෙනව. ඉතින් නැගෙනහිරින් කරත්තයක් හරි රියක් එනවනම්’ ඒ පස්ගොඩ මැඬගෙන යනව. ඒ වගේම බටහිර දිශාවෙනුත්, උතුරු දිශාවෙනුත්, දකුණු දිශාවෙනුත්, ගැල් හෝ රිය එනවනම් ඒ පස්ගොඩ මැඬගෙන යනව. ඒ වගේම භික්ෂුවක් කය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරන විට පාපි අකුසල ධර්මයන් නසනව. වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනාවෙන් වාසය කරන විට, සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් වාසය කරන විට ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරන විට පාපි අකුසල් ධර්මයන් නසනව කියල. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව. ඉතින් අපිත් ඒ මහත්ඵල මහානිසංස ගෙන දෙන මේ ආනාපානසති භාවනාව වඩා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට උත්සාහ කරමු.


free counters