භාවනා Meditation: එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව 2

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

එදිනෙදා ජීවිතයට විපස්සනා භාවනාව 2

බුරුම ජාතික වෛද්‍ය තයන් තයන් මහත්මිය විසින් රචිත ‘Living Meditation, Living Insight’  කෘතිය ඇසුරෙන් සිංහලයට පරිවර්තනය කැරෙන ලිපි පෙළේ සිව්වැන්නයි මේ. මෙතෙක් කල් පිටතට යොමු වූ ඔබ ඔබේ ඇතුළට - සිතට යොමු වන්න. ඔබ තුළ මහ වෙනසක් ඇති වනු ඇත. මේ ලිපි පෙළ ඒ සඳහා මඟ පෑදීමකි.

අප එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරන අතරෙම භාවනා කළ හැකි බව ඔබ පවසනවා... පුහුණුව ආරම්භ කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද?
සාමාන්‍යයෙන් අපේ මනැස බාහිර ලෝකය සමඟ නිරන්තරයෙන් ඇලෙමින් ගැටෙමින් පවතින්නේ. බොහෝ වේලාවට බාහිර සිදු වන දේට අපි ඉබේටම මෙන්, පුරුද්දෙන් මෙන් ප්‍රතිචාර දක්වනවා. එහෙත් අපේ සිත තුළ මතු වන සිතුවිලි, හැඟීම් දෙස අවධානයෙන් බලන්නෙ නැහැ. සිත සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හරිනවා. මෙතැනදි වඩාත් තීරණාත්මක වන්නේ, අප බාහිරට යොමු කරන අවධානය අපේම සිත දෙසට කේන්ද්‍රගත කිරීමට කෙතෙක් දුරට හැකිද යන්නයි. ඒ සඳහා අප උත්සාහයක් දැරිය යුතුයි. මේ උත්සාහය අප එදිනෙදා කරන වැඩකටයුතුවලින් ඉවත් වී සිදු කිරීමට අවශ්‍ය නැහැ. කළ යුත්තේ ආහාර ගැනීමේදී, නිවෙස පිරිසුදු කිරීමේදී, දරුවන්ගේ කටයුතු ඉටු කිරීමේදී හා ආහාර පිසීමේදී ආදි වශයෙන් සෑම කටයුත්තකදීම අපගේ අවධානය සිත දෙසට යොමු කිරීමයි.
ඔබ අදහස් කරන්නේ සිතට එන හැම සිතුවිල්ලක් ගැනම අවධානය යොමු කළ යුතුයි කියාද? එය කළ හැකි වැඩක් නොවෙයි. රිය පදවන අවස්ථාවක් ගන්න. මාර්ගය ගැන අවධානයෙන් ඉන්න අතර කොහොමද හිත ගැන අවධානය යොමු කරන්නේ?

ඔබේ ප්‍රශ්නය මේ කාරණයට බෙහෙවින්ම අදාළයි. සිතට එන හැම සිතුවිල්ලක්ම නිරීක්ෂණය කිරීම කළ නොහැකි දෙයක්. රිය පදවන අතර එසේ කරන්නට ගියොත් ඔබ මහා විනාශයකට මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. අන් හැම කරුණකදී මෙන් මේ කාරණයේදීත් අන්තවාදි විය යුතු නැහැ. ඔබේ සිතේ හොඳින්ම මතු වී තිබෙන චිත්ත ස්වභාවයත් නිරීක්ෂණය කිරීමට මුලින්ම පුරුදු වන්න. උදාහරණයක් විධියට: ඔබේ සිතට වැඩිපුරම කරදර දෙන සිතුවිල්ල, එසේත් නැති නම් සිතේ මතු වී කැපීපෙනෙන වෙන යම් සිතිවිල්ලක් මේ සඳහා මුලින්ම තෝරාගත හැකියි. ඔබ නිරන්තරයෙන් වෙනස් වන සිතුවිලි සහිත ආවේගශීලී පුද්ගලයකු නම්, සිතේ මතු වන තරහ සිතුවිලි නිරීක්ෂණය කරමින් මුලින්ම පටන්ගන්න. ඔබ කුඩා දෙයින් පවා නිතර සිත රිදවාගන්නවා නම් එවන් විටෙක සිතුවිල්ලෙන් සිතුවිල්ලට මාරු වන අයුරු බලා සිටින්න. ඔබට වඩාත් කරදර දෙන, ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි සිතුවිලි හඳුනාගන්නට මුලින්ම උත්සාහ කරන්න.

බොහෝ පුද්ගලයන්ට සිතුවිලි නිරීක්ෂණය කිරීමේ ආරම්භයක් වශයෙන් තරහ සිතුවිලි හඳුනාගැනීමට පුහුණු වීම පහසුවක් වනවා. මන්ද යත්: සිතට කෝපය නැඟුණු අවස්ථා හඳුනාගැනීම පහසු වන නිසයි. ඔබ තරහ සිතුවිලි නිරීක්ෂණය කිරීමට පටන් ගන්නවා නම්, ඒසමඟම ඔබ තවත් අපූරු සොයාගැනීමක් සිදු කරාවි. එනම්: තමන්ට තරහා ආ බව වටහාගත් සැණෙන් එම ප්‍රකෝපකාරි සිතුවිල්ල ක්‍රමයෙන් සිතෙන් වියැකී යෑම සිදු වන බවයි. උපේක්ෂාවෙන් සිත දෙස බලා සිටීමයි මෙහිදී වැදගත් වන්නේ. පූර්ව නිගමන, විවේචන ආදියෙන් තොරව උපේක්ෂාවෙන් සිත දෙස බලා සිටීමට ඔබ දක්ෂ වන තරමටම සිතෙන් තරහ ඉවත්ව යෑමද සිද්ධ වනවා.
මුලදී ඔබට ඔබේ කෝපය හඳුනාගැනීමට හැකි වන්නේ ඒ කෝපකාරි ස්වභාවයේ සිර වී සිට යම් වේලාවක් ගත වූවාට පසුවයි. ඒ ගැන කලබල වන්නට එපා. අනුක්‍රමයෙන් ඔබේ සිතෙහි අවධානය දියුණු වන විට සිතට තරහවක් එන විටම එය හඳුනාගැනීමේ හැකියාව ලැබෙනු ඇති. අන්තිමේදී කෝපකාරි සිතුවිලි සමඟ පොරබදන ගතිය ඔබේ සිතෙන් ඉවත්ව ගොස්, සාමකාමි බවක් දැනෙනු ඇති.
ඇත්තටම ඔය කියන දේ සිදු විය හැක්කක්ද?
ඇත්තෙන්ම. ඔබේ අවධානය ඔබගේම ඇතුළාන්තයට යොමු කිරීම එක අතකින් තමා යළි සකස් කිරීමක් බඳුයි. මෙතෙක් කලක් අවධානය යොමු කළේ බාහිර ලෝකය දෙසටයි. ඒත් දැන් ඔබ තමන්ගේ ඇතුළාන්තයටත් අවධානය යොමු කිරීමට පටන්ගෙන තිබෙනවා. කල් ගත වන විට එය පුරුද්දක් බවට පත් වී, එදිනෙදා වැඩකටයුතු කරන අතරතුරදී සිත ගැන අවධානයෙන් සිටීමට පුහුණුවක් ලැබෙනවා. මේ ආකාරයෙන් සිතේ සිහිකල්පනාව දියුණු වන විට තරහව පමණක් නොවෙයි, සිතට එන තද ලෝභය, ආශාව, ශෝකය ආදි සිතුවිලිත් ඒවා මතු වන අවස්ථාවේදීම ඔබට දැනෙනවා.
මඳ කලක් මෙසේ පුහුණු වන විට එම සිතුවිලිවල ප්‍රබල බව අඩුව ගොස්, දිය වී, වියැකී යන ස්වභාවය ඔබටම අත්දකින්නට පුළුවන්. අන්තිමේදී ඔබ පුදුමයට පත් කරමින්, සිතුවිලි සමඟ ඔබ සැබෑ මිතුරකු වී සිටින බව ඔබටම වැටහේවි.
තරහ සිතුවිලි මතු වූ විටත් එම සිතුවිලි සමඟ නොගැටී පහසුවෙන් සිටිය හැකි යැයි ඔබ කියන කාරණය ඇත්තක් කියා මට නම් තවමත් විශ්වාස කරන්න අමාරුයි...
ඔබ තවදුරටත් සිතුවිලි සමඟ ගැටෙන්නේ, අරගල කරන්නේ නැති නම්, ඒවා ගැන නිගමනවලට බැසීමෙන්, ඒවායේම එල්ලී සිටීමෙන් හා ප්‍රතික්ෂේප කිරීමෙන් මිදෙනවා. ඒ නිසා ඒ සිතුවිලි තවදුරටත් තමන්ට තර්ජනයක් වන්නේ නැහැ. වඩාත් ස්වාභාවික ලෙස හා මිත්‍රශීලීව සිතුවිලි සමඟ ගනුදෙනු කිරීමට ඔබ ඉබේටම හුරු වෙනවා. හිතන්න, ඉතාමත් ව්‍යාකුල ගැටුම්කාරි අවස්ථාවකට ඔබ මුහුණ දී සිටිනවා කියා. සිතේ මතු වන හැඟීම් සමඟ උපේක්ෂාවෙන් කටයුතු කිරීමට ඔබ පුරුදු වී සිටී නම් එවැනි දුෂ්කර අවස්ථාවකදී වුවත් ඔබේ මනැස ස්ථාවරයි. සිතේ සමතුලිතතාව බිඳ නොගෙන ඒ ගැටුම්කාරි අවස්ථාවට මුහුණ දෙන්න ඔබට හැකියාව තිබෙනවා.
හිතට තරහවක් ආ විට මම ඒ සිතුවිල්ල නිරීක්ෂණය කරන්නට පටන් ගන්නා විට ම වාගේ තරහ ගතිය වියැකී යන බව අත්දැක තිබෙනවා. එහෙත් නැවත නැවතත් කෝපය මතු වෙනවනෙ... ඒ ඇයි?
මෙය ඔබේ සිත ගැන අවධානය යොමු කරමින් සිහිකල්පනාව පවත්වාගන්නට උත්සාහ කරන මුල් අවස්ථාවේදී සිදු වන්නක්. සිත යළි යළිත් තමන්ට හුරුපුරුදු කෝපකාරි අවස්ථාවට පත් වීම සිදු වන්නේ සිහිකල්පනාව අසම්පූර්ණ මට්ටමේ පවතින නිසයි. එයින් කියැවෙන්නේ සිත ගැන අවධානයෙන් සිටිමින් සිහිකල්පනාව වර්ධනය කරගැනීමේ කලාව ඔබ තවදුරටත් ප්‍රගුණ කළ යුතු බවයි.
මෙසේ තරහ යළි යළිත් මතු වන්නේ ගැටුම ඇති වීමට හේතුව, එයට මුල් වූයේ කවුරුන්ද, ඔවුන් එසේ කළේ ඇයි ආදි වශයෙන් යළි යළිත් සිතමින් සිතෙන් ගැටෙන්නට යෑම නිසයි. මේ සිතීමේ රටාව වෙනස් කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ ගැටුම හෝ කලබලය මැද වුවත් මධ්‍යස්ථව ඔබේ මනැස දෙස බලා සිටීමයි.
ගැටුමකට, ප්‍රකෝපකාරි අවස්ථාවකට සම්බන්ධ වෙන්නේ මම තනියෙන් නොවෙයිනෙ. ඊට සම්බන්ධ තවත් අය ඉන්නවා. ඒ අයගේ වැඩ පිළිවෙළේ හැටියට මටත් ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා.
මෙතැනදි තමයි වැදගත්ම කාරණය මතු වෙන්නේ. මේ වගේ අවස්ථාවකදී අපි සාමාන්‍යයෙන් කරන්නේ, අනෙක් කෙනා කරන කියන දෙයට ‘ප්‍රතිචාර දක්වනවා’ මිස ගැටලුවලට ගැළපෙන ලෙස ‘හරියටම ක්‍රියා කිරීම’ නොවෙයි. මෙලෙස ආවේගයන්ට යට වී ප්‍රතිචාර දක්වන්නට යෑමෙන් තත්ත්වය තවත් ව්‍යාකුල වීමයි සිද්ධ වන්නේ. එනිසා කෙතරම් කලබලයක් බාහිර පරිසරයේ තිබුණත් ඔබ උපේක්ෂාවෙන් ඔබේ සිත දෙස බලා සිටින්නට පුරුදු වන්න. මෙය හුදෙක්තමාගේ අභ්‍යන්තරය දෙසම බලා සිටීමක් සේ පෙනුණත් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ බාහිර කාරණා සමඟ තමන්ගේ සිත ගැටෙන හැටි නිරීක්ෂණය කිරීමයි. ඔබ බාහිර පරිසරයෙන් වියුක්ත නැහැ; ඊටම සම්බන්ධයි. මෙසේ සිත පුහුණු කරන විට මතු වන උපේක්ෂාව තමාත්, තමාට බාහිරව සිදු වන සිද්ධියත්, ඊට සම්බන්ධ අයත් යන සෑම පැතිකඩක් සමඟම නොගැටී සිටින්නට උපකාර වනවා. තමා හුදෙකලාව නොව අදාළ සිද්ධියටම සම්බන්ධව සිටිමින් ඒ සියල්ල ගැන පැහැදිලි දැක්මක් ඇතිව වැඩ කිරීමට හැකි වෙනවා.
ඔබ මෙසේ පැහැදිලි සිහිකල්පනාව සහිත මනැසක් ගොඩනඟාගැනීමට පෙර මෙවන් ප්‍රකෝපකාරි අවස්ථාවකදි ප්‍රතික්‍රියා දැක්වූයේ තමන් ආරක්ෂා කරගැනීමේ, තමන්ගේ අනන්‍යතාව රැකගැනීමේ සැඟවුණු අභිලාෂය ඇතිවයි. එහෙත් සිහිකල්පනාව මැනැවින් ගොඩනැඟෙද්දි ‘මම තමයි වැදගත්ම’ යන හැඟීම ඔබ තුළින් පහ ව ගොස්, තමන් සහ අනෙක් අය අතර වෙනසක් නැතැයි වැටහෙනවා. අනෙක් අයට වඩා තමන් වැදගත් යැයි සිතා සිටි හැඟීම ඉවත් වීම නිසා වඩා පහසුවෙන් සිද්ධිය විනිවිද දැකීමේ හැකියාව ඔබ තුළ ගොඩනැඟෙනවා. දැන් ඔබ ඕනෑම ප්‍රකෝපකාරි සිද්ධියක් මැද වුවත් නිවැරැදිව සිහිය පිහිටුවාගෙන කළ යුත්ත කරනවා හැරෙන්නට අනවශ්‍ය කලබැගෑනියක් ඇති කරගන්නට යන්නේ නැහැ.
එදිනෙදා ජීවිතය ඇසුරෙන් මේ සඳහා උදාහරණයක් ඉදිරිපත් කළ හැකිද? ඔබ මුහුණ දෙන සිදුවීමක් ආශ්‍රයෙන් ඔබම එය විස්තර කරන්න. එවිට වඩාත් හොඳින් කාරණය පැහැදිලි වේවි.
මෙහෙම හිතමු: මගේ කුඩා දරුවා එයා ආසම දෙයක් ඉල්ලලා අඬනවා. ඒත් මට ඒකට ඉඩදෙන්න බැහැ. දරුවාට කරුණු පැහැදිලි කරදිය හැකි තරම වයසකත් නොවෙයි ඉන්නේ. ඉතින් මේ වෙලාවෙ මගේ හිතට එන්නේ කෝපයක්. ‘කිවුවා නාහන මේ දරුවත් එක්ක මොනවා කරන්නද?’ යි මට හිතාගන්න බැහැ. කොහොම වුණත් මේ අවස්ථාවෙදිත් මගේ හිතේ මතු වෙන සිතුවිලි මොනවාදැ’යි මම නිරීක්ෂණය කරනවා. මගේ තරහ, කලකිරීම මට හොඳින් නිරීක්ෂණය කළ හැකියි. හිතේ තරහවත් මතු වී ඇති බව නිරීක්ෂණය කළ සැණින් ඒ තරහ සිතුවිලි දිය වී යනවා. ඒත් දරුවා තවදුරටත් හඬමින් කලබල කරද්දි එය පාලනය කිරීමට නොහැකි වීමෙන් යළි යළිත් මගේ තරහ ඇවිස්සෙනවා.
ඒත් මම ක්ෂණිකව තරහෙන් දරුවාට ප්‍රතිචාර දක්වන්නට නොගොස්, සිතේ මතු වන සිතුවිලිවල ස්වභාව නිරීක්ෂණය කරනවා. කෙමෙන් මගේ සිත සන්සුන් හා පැහැදිලි වනවා. වෙනදා මෙවන් විටෙක මම කරන්නේ කේන්තියෙන් දරුවාට බැණ-වැදීමයි. ඒත් මනැස උපේක්ෂාසහගත වීම නිසා දරුවා ගැන, ඔහුගේ හැඬීමට හේතුව ගැන හා මා ගැනමත් නම්‍යශිලි, මෘදු ගතියක් හා අවබෝධයක් ඇති වෙනවා. පුදුමාකාර ලෙස මට වැටහෙනවා දැන් ඊළඟට කළ යුත්තේ කුමක්ද කියා. තරහක් කේන්තියක් නැතිව ප්‍රශ්නයට අවතීර්ණ වීම නිසා සිද්ධිය සන්සුන් ලෙස හා කාරුණිකව විසඳාගන්නට මට පුළුවන්. මගේ ක්‍රියා පිළිවෙළේ මේ සෞම්‍ය බව නිසා දරුවාත් තමන්ගේ දැඩි ගතිය මඳක් ලිහිල් කරන බවත්, මට අවනත වන බවත් මට අත්දකින්න පුළුවන්.
හරිම අගෙයි.
මෙලෙස සිතේ උපදින තරහ සිතුවිලි හඳුනාගැනීමත් සමඟම, සිතට වහල් වී කටයුතු කිරීමෙන් මිදෙනවා; මධ්‍යස්ථ බව වැඩෙනවා. ඔබ තවදුරටත් විවාදයට පැටලෙන්නේ නැත් නම් අනෙක් අයත් සන්සුන් වේවි. ඔබ කටයුතු කරන ආකාරය පූර්ණත්වයට පත් වන විට වාද-විවාද ගැටුම්කාරි අවස්ථා මඟහැරී යාවි. ගැටුමක් දිගින් දිගට ගෙන නොයන කෙනකු සමඟ සණ්ඩු අල්ලන්නට තවත් කෙනකුට පුළුවන්ද?
භාවනාව එදිනෙදා කටයුතුවලට සම්බන්ධ කරගැනීම – එනම්: සැම විටම සිහිකල්පනාව දියුණු කිරීම - මගින් මේ යහපත් ක්‍රියාකාරිත්වයත් දියුණු වනවා. මෙය එදිනෙදා ජීවිතයේදී පුරුදු කරන ඔබ ඔබටත් නොදැනුවත්වම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නෙකු බවට පත් වෙනවා.
බුරුම ජාතික වෛද්‍ය තයන් තයන් මැතිනිය
පරිවර්තනය - නිලූෂා නිරංජලා


free counters