භාවනා Meditation: භාවනාවට බාධා කරන පලිබෝධ දහය

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

භාවනාවට බාධා කරන පලිබෝධ දහය


බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ හිමි

භාවනා කිරීම බෞද්ධ අබෞද්ධ ලොකු කුඩා සැමට එකසේ ඵල ලැබිය හැකි ක්‍රියා පිළිවෙතකි. ඒ බැව් වටහා ගත් බොහෝ දෙනා භාවනා කිරීමට යොමු වෙති. පෙරදිග රටවල ජනතාවටත් වඩා අපර දිග රටවල භාවනා කිරීමට යොමුවන පිරිස්‌ ක්‍රමයෙන් වැඩිවන බව පෙනෙයි. ඇතැම් ආසියාතික රට වල භවනා වැඩසටහන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙයි.තායිලන්තයේ බැංකොක්‌ නගරාසන්නයේ තිබෙන ' ධම්මකාය ' භාවනා මධ්‍යස්‌ථානය එයට කදිම නිදසුනකි. ඇතැම් දිනවල එම ස්‌ථානයෙහි ලක්‌ෂ ගණන් ගිහි ජනතාව මෙන්ම භික්‌ෂුන් වහන්සේලා ද භාවනා කරති.ගුවන් යානා පවා එම ස්‌ථානයට ඉහළින් ගමන් නොකිරීමට උපදෙස්‌ දී ඇත්තේ අධික ශබ්දය භාවනාව සඳහා බාධකයක්‌ වන නිසා ය.

භාවනා කිරීම මගින් මග ඵල ලබා ගැනීම පමණක්‌ නොව, එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මානසික ඒකාග්‍රතාව ඇති කර ගැනීමට ද හැකියාව ලැබෙයි. රැකියාවන් කරන අයට මෙන්ම ගෘහනියන්ට ද ගොවි කම්කරුවන්ට ද ඉගන ගන්නා ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මානසික ඒකාග්‍රතාව එකසේ වැදගත් වෙයි. එමගින් තම තමන් කරන කාර්යයන් ආරක්‌ෂිතවත් නිවැරදිවත් උනන්දුවෙනුත් කළ හැකි බව ඔප්පුවී ඇත. එසේම වැරදි වලින් මිදී නිවැරදි මිනිසුන් වශයෙන් ජීවත් වීමට ද හැකියාව ලැබෙයි. ඇතැම් රටවල දරුණු අපරාධ කරුවන් පවා භාවනාව මගින් යහපත් මිනිසුන් බවට පත් කර සමාජගත කරන ආකාරය බොහෝ දෙනෙක්‌ නොදන්නවා ඇත. එහෙත් යථා තත්ත්වය නම් එයයි. භාවනා කිරීමෙන් ලද හැකි ප්‍රයෝජනය දීර්ඝ වශයෙන් විස්‌තර කළ හැකි වුවත් මෙම ලිපියෙහි අරමුණ එය නොවේ. ඔබ කිසියම් භාවනාවක්‌ සඳහා යොමු වන්නේ නම් මූලික වශයෙන් ඔබ ළඟ තිබිය යුතු වැදගත් කරුණු කිහිපයක්‌ පැහැදිළි කිරීම මෙහි අරමුණ වෙයි. 

සිදුහත් තවුසාණන් බවුන් වඩන අවස්‌ථාවෙහි මාර සේනාවන් පැමිණ එයට බාධා කළ බව බෝසත් චරිතයෙහි දැක්‌වෙයි. එම මාරයන් යනු ඇතැම් දෙනා සිතන පරිදි පුද්ගලයන් සමූහයක්‌ නොවේ. සැබැවින්ම මාරයන් යනු සිතට ඇති වූ සිතිවිලි සමූහයකි. එම සිතුවිලි හඳුනාගෙන සිටීමෙන් ඒවා පරාජය කිරීමට හැකියාව ලැබෙයි. භාවනා කිරීමට සූදානම් වන විටත් , භාවනා කරන විටත් මෙබඳු සිතුවිලි ඇති විය හැකිය . එනම්, තව ටික වේලාවකින් මට විශේෂ කාර්යයක්‌ කිරීමට තිබෙන බැවින් විවේක ගත යුතු ය. පසුව භාවනා කරමි යන අදහස ඇති වෙයි. එසේම කිසියම් වැඩක්‌ නිම වීමෙන් පසු 'දැන් මම වැඩක්‌ කර වෙහෙසට පත්ව සිටිමි. ඒ නිසා ටිකක්‌ නිදාගෙන විවේක ගත යුතුය, එසේම මම තව ටික වෙලාවකින් ගමනක්‌ යායුතු වෙමි. එහිදී වෙහෙසට පත් විය හැකිය. ඒ නිසා නිදා ගත යුතු ය. එමෙන්ම ගමනක්‌ ගොස්‌ ආපසු පැමිණි විට ද දැන් මම ගමනක්‌ ගොස්‌ ආපසු පැමිණි බැවින් විඩා නිවා ගැනීමට නිදා ගත යුතු ය' යනුවෙන් සිතයි. 

එසේම කුස පුරා ආහාර ගත් පසුත් කුසගිනි අවස්‌ථාවේ දීත්, ඉහත සඳහන් ආකාරයටම සිතමින් භාවනා කිරීම අතපසු කරයි. සුළු ආබාධයක්‌ ඇති වූ විටත් දැන් මම ලෙඩෙක්‌ වෙමි යනුවෙන් සිතයි. අසනීපය සුව වූ පසුවත් දැන් මම අසනීපයෙන් සුව වූවා විතරයි, ඒ නිසා පසුව භාවනා කරමි යනුවෙන් අතපසු කරයි. මෙවැනි කුසීත හැඟීම් නමැති මාරයන් පරාජය කර හිත දිරිමත් කර ගෙන භාවනා කිරීමට එළඹිය යුතු ය.

භාවනා කිරීමේ දී එයට බාධා කරන පලිබෝධ නොහොත් දිලීර දහයක්‌ ඇති බව 'විසුද්ධිමාර්ගයෙහි ' දක්‌වා ඇත. ආවාස පලිබෝධ - එනම් තමන් වාසය කරන ස්‌ථානයෙහි කටයුතු ඉදි කිරීම් , නව කම් කිරීම්, භාණ්‌ඩ රැස්‌ කොට තැබීම, ඒවා ආරක්‌ෂා කිරීම වැනි කටයුතු, කුල පලිබෝධ - ඤාතීන් සහ දායක දායිකාවන් සමඟ තිබෙන බැඳීම් ලාභ පලිබෝධ - සිව්පසය වැඩි වැඩියෙන් ලැබීම ඒවා ගෙන එන අය සතුටු කරමින් සිටීමට සිදුවීම, ගණ පලිබෝධ - ත්‍රීපිටකය හදාරණ පිරිස්‌ එසේ නැතහොත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් සිටීමට සිදු වීම නවකම් පලිබෝධ - වාසස්‌ථාන වල ඉදිකිරීම්, නව කම් කරන විට ඒවා පිළිබඳ සොයා බලමින් සිටීමට සිදුවීම අද්ධාන පලිබෝධ - සංචාරක ගමන් බිමන් වල යෙදීම ඤාති පලිබෝධ - ආචාර්ය උපාධ්‍යායන් ශිෂ්‍යයන් , නිවසක නම් දූ දරුවන් සහ ඤාතීන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ඉටු කිරීමට සිදුවීම යන මේවා පලිබෝධ වශයෙන් සැළකෙයි. එසේම ආබාධ, ග්‍රන්ථ, Rද්ධි, යන මේවා ද පලිබෝධ වශයෙන් සැළකෙයි.

භාවනා කිරීමට අදහස්‌ කරන යෝගාවචරයා විසින් ඒ සඳහා සුදුසු ස්‌ථානයක්‌ තෝරා ගත යුතු වෙයි.මෙකල ඇතැම් දෙනා භාවනා කිරීමට තෝරා ගනු ලබන්නේ බෙහෙවින් ජනාකීර්ණ මෙන්ම බොහෝ ප්‍රසිද්ධ ස්‌ථානයන්ය. විසුද්ධිමාර්ගයට අනුව භාවනා කිරීමට නොසුදුසු ස්‌ථාන දහ අටක්‌ ඇත. ඒවා කෙටියෙන් සඳහන් කරන්නේ නම් 1. මහා විහාර 2. අභිනව විහාර 3. දිරාපත් ස්‌ථාන 4. මහා මාර්ග ආසන්න ස්‌ථාන 5. පැන් පොකුණු වැනි මහජනතාව පැමිණෙන ස්‌ථාන 6. පළා කොළ තිබෙන ස්‌ථාන 7. මල් නෙලීමට ජනතාව පැමිණෙන ස්‌ථාන 8. පලතුරු වැඩියෙන් තිබෙන ස්‌ථාන 9. බොහෝ ජනතාව පැමිණෙන ස්‌ථාන 10 . නගර ආශ්‍රීත ස්‌ථාන 11. දර ගෙන යැමට ජනතාව පැමිණෙන ස්‌ථාන 12 . ගොයම් පාගන කමත් තිබෙන ස්‌ථාන 13 . කලහකාරීන් ගැවසෙන ස්‌ථාන 14. සමුද්‍ර තීරයෙහි පිහිටි ස්‌ථාන 15 . ශ්‍රද්ධාව නැති ජනතාව සිටින ප්‍රත්‍යන්ත ප්‍රදේශ 16 . රජයට සීමා කළ ස්‌ථාන 17 . නරක අරමුණු උපදින අමනුෂ්‍යාදීන් අරක්‌ ගත් ස්‌ථාන 18 . කල්‍යාණ මිත්‍රයන් නොමැති ස්‌ථාන යන මෙම ස්‌ථාන නොසුදුසු ස්‌ථාන වශයෙන් සැළකෙයි.

බවුන් වැඩීමේ දී අයෝග්‍ය වාසස්‌ථාන, අයෝග්‍ය ගොදුරු ගම, අයෝග්‍ය කථාසංලාප, අයෝග්‍ය පුද්ගලාශ්‍රය, අයෝග්‍ය භෝජන, අයෝග්‍ය Rතු ගුණය, අයෝග්‍ය ඉරියව්ව යන අංග සතෙන් වෙන් විය යුතුය.එසේම වස්‌තු විසදතාවය, ඉන්ද්‍රිය සමතාවය, නිමිත්ත කුශලතාවය, වීර්ය සමතාවය, අරතිය, උපේක්‌ෂාව, භාවනාවෙහි නොයෙදුන අයගෙන් වෙන් වීම, සමාධි ලාභීන් ඇසුර, සමාධියම අරමුණු කොට සිටීම වැනි කරුණු අනුගමනය කළ යුතුය. මෙම කරුණු පිළිබඳ හොඳින් දන්නා ආචාර්යවරයකුගෙන් විමසා දැන ගත යුතු වෙයි. 

භාවනා කිරීමේදී තම චරිතයට ගැළපෙන කමටහනක්‌ තෝරා ගත යුතු වෙයි. එසේ නම් චරිතය හඳුනා ගත යුතුය. කෙනෙකුගේ චරිතය හඳුනා ගැනීම වර්තමාන සමාජයේ ජීවත් වීමට ද ප්‍රයෝජනවත් වෙයි. චරිතය නොදැන පුද්ගලයන් ඇසුරු කිරීම බලවත් විපත්වලට පත්වීමට සිදුවන අවස්‌ථා පිළිබඳ අසන්නට ලැබෙයි. චරිතය හඳුනා ගැනීමේදී ' සිග්මන්ප්‍රොයිඩ්' වැනි නූතන මනෝ විද්‍යාඥයන්ගේ ඉගැන්වීම් ඉතා වැදගත් වෙයි. 

'සර් ආතර්කොනන්ඩොයිල්' ගේ අභිරහස්‌ පරීක්‌ෂණ වල සඳහන් පරිදි පුද්ගලයකුගේ බාහිර ලක්‌ෂණ , ඉරියව් නිරීක්‌ෂණය කිරීම මගින් ඔහු කෙබදු පුද්ගලයෙක්‌ද යනු පැහැදිළි කරගන්නා අයුරු විශ්මිතය. එසේම 'එඩ්ගාකේසි' වැනි මනෝ විද්‍යාඥයන් පුද්ගලයකු මෝහනයට පත් කිරීම මගින් ඔහු කෙබඳු පුද්ගලයකු ද යනු පැවසීමට ඇති හැකියාව පෙන්වා දුන්නේ ය. 'කොණ්‌ඩඤ්ඤ' බමුණා සිදුහත් කුමරුගේ ශාරීරික ලක්‌ෂණ බලා කෙබඳු කෙනෙක්‌ වන්නේ ද යන්න ප්‍රකාශ කළේ ය. ජ්‍යෙdaතිෂයේ උපතේ දී කේන්ද්‍රය පිහිටන ආකාරය අනුව සහ හස්‌ත රේඛා මගින් චරිත ලක්‌ෂණ පැවසිය හැකි බව සඳහන් වෙයි.

බුදුදහමට අනුව පුද්ගලයකුගේ චරිත ලක්‌ෂණ හඳුනා ගන්නේ කෙසේද ?එහිලා වැදගත් වන්නේ අදාළ පුද්ගලයාගේ යැම් ඊම් ඉඳුම් හිටුම් , ආහාර ගැනීම් වැනි ක්‍රියා කලාපයන් බව 'විසුද්ධිමාර්ගය' සඳහන් කරයි. 

'ඉරියාපථතෝ කිච්ඡා - භොජනා දස්‌සනාදිතෝ, ධම්මප්පවත්තිතෝ ෙච්ව - චරියායෝ විභාවයේ' යනුවෙන් සඳහන් පරිදි ඉරියව් වශයෙන් ද, කෘත්‍ය වශයෙන්ද, වැළදීම් වශයෙන් ද,දර්ශනාදී වශයෙන්ද, ධර්ම ප්‍රවෘත්ති වශයෙන්ද චරිතය හඳුනා ගන්නේය. බෞද්ධ දර්ශනයට අනුව ජාති, කුල, ආගම්, බේදයකින් තොරව, චරිත වශයෙන් හය දෙනෙක්‌ සිටිති. ඒ අනුව 1. රාග චරිතය 2. ද්වේෂ චරිතය 3. මෝහ චරිතය 4. ශ්‍රද්ධා චරිතය 5. බුද්ධි චරිතය 6. විතර්ක චරිතය යනුවෙන් ඒවා හඳුන්වයි.මෙම චරිත හය නැවත දොළොස්‌ ආකාරයකට බෙදා දැක්‌විය හැකි ය. ප්‍රධාන චරිත හය ගැන කෙටි හැඳින්වීමක්‌ කරන්නේ නම්, රාග චරිතයා වනාහී යමක්‌ කරන විට සිත් ගන්නා අයුරෙන් කරයි. ලතාවකට ගමන් කරයි. කොතෙක්‌ දෙය ලැබුණ ද සෑහීමට පත් නොවෙයි. අන් අයගේ සිත් ඇද බැඳ ගන්නා අයුරෙන් සියලු කටයුතු කරයි. භාණ්‌ඩ කෙරෙහි සහ ආහාර කෙරෙහි ඉමහත් කෑදරකමක්‌ දක්‌වයි. දිනපතා ස්‌නානය කරයි. ඒ සඳහා දිගු වෙලාවක්‌ ගනියි. ලස්‌සන රූපයක්‌ දුටු විට කෑදර සිතින් ඒ දෙස බලා සිටියි. උත්සන්න වූ කෙළෙස්‌ ඇත. මෙම චරිත ලක්‌ෂණ ඇතුළු තවත් බොහෝ ලක්‌ෂණ ඇත. මෙවැනි චරිතයක්‌ ඇති අයට දස අසුභය සහිත පිළිකුල් භාවනාව යෝග්‍ය වෙයි. එසේම රළු ආහාර, දුර්වර්ණ ඇඳුම් ආදිය ගැළපෙයි.

ද්වේෂ චරිතයා අමිහිරි දෙයක්‌ ලද විට දොම්නස්‌ වෙයි. නොකැමති දෙය දුටු විට අමනාප වෙයි. ස්‌වල්ප දෝෂයක දී වුව ද ගැටුම් ඇති කර ගනියි. ද්වේෂ චරිතයා තුළ ඉස්‌සාමච්ඡරිය පලාස, මක්‌ඛ, උපනාහක්‍රෝධ වැනි කෙලෙස්‌ බහුලව ඇත. අනුනට ද්වේෂ කරයි. අනුන්ට මානසික වශයෙන් පීඩා කරයි. අනුන් කෙටවීමට කටයුතු කරයි.එසේ කරමින් සමාජයෙහි නිවැරදි පුද්ගලයන් හැටියට පෙනී සිටීමට උත්සාහ කරයි. මෙවැනි පුද්ගලයන්ට මෛත්‍රී භාවනාව වැනි භාවනාවක්‌ වඩාත් සුදුසු වෙයි.

මෝහ චරිතයක්‌ තිබෙන පුද්ගලයා අවුල් ගමනින් ගමන් කරයි.නිදා ගැනීමේදී ඇඳ ඇතිරිලි ආදිය විසුරුවා ගනියි. අත්පා ඒ මේ අත දමමින් මුනින් අතට වැටී නිදයි. ඇඳුම් පැළඳුම් ගැන සැලකිල්ලක්‌ නැත. ආහාර ගන්නා විට සැම තැනම විසුරුවා ගනියි.යමක්‌ ගැන අන් අය ප්‍රසංසා කරයි නම් ඔහු ද ප්‍රශංසා කරයි. නින්දා කරයි නම් ඔහු ද නින්දා කරයි. මෝහ චරිතයා තුළ ථීනමිද්ධ, උද්දච්චකුක්‌කුච්ච, විචිකිච්ඡා වැනි කෙළෙස්‌ බහුලව ඇත. මෙවැනි පුද්ගලයන්ට ද මෛත්‍රී භාවනාව, බුද්ධානුස්‌සති භාවනාව වැනි භාවනා සුදුසු ය. ශ්‍රද්ධා චරිතයා බෙහෙවින් ශ්‍රද්ධාවන්ත ය. ඉරියව් පැවැත්වීමේ දී රාග ද්වේෂ චරිතයාට සමාන වෙයි. තුනුqරුවනට ගරු කිරීම, ආගමික කටයුතු වල දී ඉදිරියෙන් සිටීම , දීමට කැමැත්ත (මුත්තචාගිතාවය ) මෙම චරිතයාගේ විශේෂ ලක්‌ෂණයෝ වෙති. ශ්‍රද්ධාව මෝහයත් සමග එක්‌ වීමෙන් නරක ප්‍රතිඵල අත් විය හැක. එබැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු ය. බුද්ධානුස්‌සති , ධම්මානුස්‌සති වැනි භාවනා මගින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

බුද්ධි චරිතයා ඉතා වැදගත් අයෙකි. හෙතෙම බුද්ධිමත්ව කටයුතු කරයි. අප්‍රමාදීව කටයුතු කරයි. ආහාර ගැනීමේ දී පමණ දැන පිළිගනියි. දුකට පත් නොවේ. සංවේගය ඇති කර ගනියි. තැනට සුදුසු නුවණින් කටයුතු කරයි. කිසිවක්‌ අන්ධානුකරණයෙන් පිළි නොගනියි. මිල මුදල්, පදවි තනතුරුවලට වඩා බුද්ධිය අගය කරයි. කුමන තරාතිරමක අයකු වුව ද ඇසුරු කළ හැකි ය. මෙවැනි අයට මරණානුස්‌මෘති, උපසමානුස්‌සති දේවතානුස්‌සති, චාගානුස්‌සති, කායගතාසති වැනි භාවනා මගින් ඉක්‌මන් ප්‍රතිඵල අත් කර ගත හැකි ය. විතර්ක චරිතයා පිළිබඳ හැඳින්වීමක්‌ කරන ' විසුද්ධිමාර්ගය' දොඩමළු බව, කථාවෙහි ලොල් බව, කුසල් කිරීමෙහි අකැමැති බව , ස්‌ථිර සිතක්‌ නැති බව වැනි කරුණු දක්‌වයි. හැම දෙයක්‌ ගැනම තර්ක කරයි. එක්‌ දෙයක්‌ මඳ වශයෙන් කරයි. එය අත හැර දමා වෙනත් දෙයක්‌ කරයි. හැම විටම තර්කයෙන් ජය ගැනීමට උත්සාහ කරයි. ක්‍රියාව තුළින් ඉදිරියට යැමක්‌ නැත. මොවුහු සමාජයේ අප්‍රසාදයට ලක්‌ වෙති. මොවුන්ගේ කටයුතු කතාවෙන් පමණි. 'කතාව දෝලාවෙන් ගමන පයින්' වැනි පිරුළුවලින් පැවසෙන්නේ මෙවැනි පුද්ගලයන් ගැනයි. මෙවන් චරිතයක්‌ ඇත්තවුනට බුද්ධානුස්‌සති ධම්මානුස්‌සති, සංඝානුස්‌සති, චාගානුස්‌සති, මෛත්‍රී වැනි භාවනාවන් සුදුසු ය.

භාවනා කිරීමේ දී අටසිල්, දසසිල් වැනි උසස්‌ සීලයක පිහිටිය යුතුය. ඉහත සඳහන් ආකාරයට උසස්‌ පිරිසිදු මනසක්‌ ඇති කර ගත යුතු ය. අභ්‍යන්තරය එසේ වන අතර, බාහිර පිරිසිදුතාව ගැන අවධානය යොමු කළ යුතු ය. චාම් වූද පිරිසිදු වූ ද ඇඳුමින් යුක්‌ත විය යුතු ය. නවීන පහසුකම් , බාහිර ආටෝප , රසවත් ආහාර පාන ගැන නොසිතිය යුතුය. නිහඬ නිස්‌කලංක පරිසරයක සිට භාවනා කළ යුතු ය. කරන්නන් වාලේ නොව, සැබෑ අවශ්‍යතාව මත භාවනා කළ යුතු ය. කාය සංවරය, වාග් සංවරය ඇති කර ගත යුතු ය. ඇතැම් දෙනා භාවනා කිරීමට උත්සාහ කරන්නේ මෙම මූලික සුදුසුකම් දෙකවත් ඇති නොකර ගෙන ය. කාය වාග් සංවරය ඇති නොකරගෙන මානසික සංවරය ඇති කර ගත නොහැක. ඔබ භාවනා කිරීමට අදහස්‌ කරන්නේ නම් මෙම කරුණු ගැන අවධානය යොමු කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකි ය.


free counters