භාවනා Meditation: භාවනා වඩන්නා විසින් දත යුතු කරුණු කීපයක්‌

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

භාවනා වඩන්නා විසින් දත යුතු කරුණු කීපයක්‌



යමෙකුට භාවනා වැඩීමට රුචියක්‌, කැමැත්තක්‌ හටගත්තේ නම් ඒ සඳහා ඔහු විසින් බොහෝ කරුණු දත යුතු ඇත. 

සද්ධර්මයේ අඩංගු අවශ්‍යයෙන්ම දත යුතු ධර්ම කරුණු විමුක්‌ති මාර්ගයට අනුව පළමුකොට යෝගාවචර තෙමේ ස්‌කන්ධ පස, ආයතන 6, ධාතු 6, පටිච්ච සමුප්පාදයේ අඩංගු කරුණු 12 පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාගත යුතු වේ. අනතුරුව ඒ ඒ ස්‌කන්ධාදියෙහි ආත්ම, සත්ව ජීවිතයන් නැති බව දත යුත්තේය. එසේමු සමථ කමටහන් 38 න් තෝරාගත් කමටහන පිළිබඳවත්, පංච නීවරණ ධර්ම පිළිබඳවත්, මාර්ග අංග 8 පිළිබඳවත්, ආර්ය සත්‍ය සතර පිළිබඳවත්, බොඡ්ජංග ධර්ම 7 පිළිබඳවත්, සංයෝජන ධර්ම 10 පිළිබඳවත් අවබෝධයක්‌ ලබා තිබිය යුතුමය. එසේ අවබෝධයක්‌ නොලබා භාවනා වැඩීමට ප්‍රවේශවීම අන්ධ ඇතකු මහ වනයකට පිවිසියාක්‌ මෙනි. 
එසේම උපක්‌ලේශ ප්‍රහීන කිරීමට ගමන් කළ යුතු මාර්ගය හා නොකළ යුතු පිළිවෙත්ද තමාගේ චරිතය පිළිබඳව අවබෝධයක්‌ ලබාගෙන තම චරිතයට වඩාත්ම උචිත කමටහන් පිළිබඳව එම කමටහන වැඩීමෙන් මේ මේ කෙළෙස්‌ නීවරණ ප්‍රහීන වී යයි යන අවබෝධය නීවරණ තදංග හා වික්‌කම්භන වශයෙන් ප්‍රහීනවීම. ධ්‍යාන ලැබූ විට නම් සිටින්නේ මේ මේ ධ්‍යානයේ යයිද, එසේම ධ්‍යාන නොලැබීමට හේතු ධ්‍යාන පිරිහීමට හේතු හා ධ්‍යාන නොපිරිහී පවත්වාගෙන යැමට කළ යුතු පිළියම් යනාදී කරුණු පිළිබඳව ද මනා අවබෝධයක්‌ තිබිය යුතු වේ. 

භාවනාවට ප්‍රවේශ වීමට පෙර සියලු කාමයන්ගෙන් වෙන්වීම (විචිච්ජෙව කාමෙ) අකුල යන්නෙන් වෙන්වීම (විචිච්චෙව අකුසලෙ ධම්මෙ) අත්‍යවශ්‍ය බව සූත්‍ර අභිධර්ම දෙපිටකයේ ම දැක්‌වේ. එහි කාම නම් ඇස, කන, දිව, නාසය, ශරීරය යන ඉන්ද්‍රිය පහට ගොදුරු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ යන පසයි. ඒවායින් තාවකාලිකව වෙන්වීම නොව ජීවිතාන්තය දක්‌වා වෙන් වීමයි.

අකුසල ධර්ම නම් මිථ්‍යා දිට්‌ඨ§, මිථ්‍යා සංකප්ප, මිථ්‍යා වාචා, මිථ්‍යා කම්මන්ත, මිථ්‍යා ආජීව යන නිරය ගාමී ප්‍රබල අකුසල 12 යි. එහි සිතින් සිදුවන පළමු අකුසලය වන මිථ්‍යා දිට්‌ඨ§යෙන් වෙන්ව නියත සම්මා දිට්‌ඨ§කයකු විය යුතුමය. එසේම සිතින් සිදුවන අභිඡ්ජා, ව්‍යාපාද යන ප්‍රබල අකුසල දෙකින්ද, වචනයෙන් සිදුවන බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම හා හිස්‌ වචන කතා කිරීම යන අකුසල් හතරෙන්ද, කයින් සිදුවන පරපණ නැසීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය යන අකුසල් 3 න්ද, 

වැරැදි අයුරින් ජීවත් වීම හා රහමෙර පානය කිරීම යන නිරයගාමී අකුසල් 12 න් මුළුමනින්ම වෙන්වීම, අකුසලයන්ගෙන් වෙන්වීම ලෙස විග්‍රහ කර ඇත. නියත සම්මා දිට්‌ඨ§යේ පිහිටි පුද්ගලයා අනෙක්‌ අකුසල් 11 න් ඉතා ඕනෑකමින් වෙන්ව නොකඩවා රකී. එය ආර්ය කාන්ත සමාධි සංවත්තනික සීලයයි. ඒවායින් එකක්‌ හෝ කඩ කර භාවනා වඩා ධ්‍යාන, සමාධි අපේක්‍ෂා කිරීම, වැට නොබැඳි කුඹුරෙ ගොයමේ ආරක්‌ෂාව බලාපොරොත්තු වීමක්‌ වැනිය. නැතහොත් අරටුව යෑයි සිතා කොළ, පොතු, සිවිය, ඵලය ගෙනයැමක්‌ වැනිය. යෝගාවචරයකු තුළ තිබිය යුතු ගුණාංග කිහිපයක්‌ මෙසේය. "මම භාවනා වඩන යෝගාවචරයෙක්‌මි. සෙස්‌සෝ හිස්‌ පුරුෂයෝය" යන පුහු මානය සිඳ දැමිය යුතුය. සියලු සත්වයන් කර්මයටත්, මරණයටත් යටත් බව මෙනෙහි කළ යුතුය. සියල්ල අත්හැරීමට බලවත් කැමැත්ත සහ පළිබෝධවලින් දුරුවීම, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්‍ෂාවෙන් යුක්‌ත වීම, පංෙච්න්ද්‍රීය යන් දැඩි සේ පාලනය, තමා කරන කාර්යයන් පිළිබඳ නිවැරැදි අවබෝධය, සතර සම්‍යයක්‌ ප්‍රධාන වීර්යය, සුදුසු ආචාර්යවරයකුගෙන් කමටහන් ලබා ගැනීම කළ යුතුය. ගුරු උපදෙස්‌ නොකඩා රැකීම අවශ්‍යය. 

භාවනාව පෙන්වන ගුණයක්‌ නොවේ. ගුණය, කමටහන්, සීලය, ධ්‍යාන, ධ්‍යානානි සංස නොඅඟවා රැකීම, ගුණය සීලය පිහිටන්නේ එවිටය. සත්පුරුෂයන්ට හැර අනෙක්‌ අයට ප්‍රකාශ කිරීමෙන් ධ්‍යාන පිරිහේ.

භාවනාවෙන් ප්‍රතිඵල ලද පුද්ගලයාගේ මුහුණ පැහැපත්ය. ප්‍රියශීලී ගුණයෙන් යුක්‌තය. ශරීරය, ඇඳුම්, ගේදොර පිරිසිදුව තබාගනී. ඇසුරු කරන්නන් අතර ජනප්‍රිය වේ. මොනම හේතුවක්‌ නිසාවත් කිසිවකුගේ සිත් බිඳෙන ආකාරයේ වචන නොකියයි. ක්‍රියා නොකරයි. ඕපාදූප කතාවලින් වැළකී සිටී. බුද්ධාවවාදයට අනුව ධර්මය කථා නොකරන්නේ නම් ආර්ය තුෂ්ණිම්භූතභාවයෙන් සිටී. අනුන් හෙළා කතා නොකරයි. සැදැහැවත්ය. ගුණවත්ය. කතාව සංවරය. ගිහියෙක්‌ වුවද, පැවිද්දෙක්‌ වුවද අපේ බුදුරජාණන් වහන්සේ වදාළ භාවනා කමටහන් වඩන්නා ඉහත සඳහන් ගුණයෙන් යුතු වූවෙකි. මෙකී ගුණ භාවනා වඩන්නකු තුළ නොමැති නම් ඔහුගේ භාවනාව කාලය මැරීමක්‌ වන්නේය. සිතට වහල් වී පංච ඉන්ද්‍රියයන් සන්තර්පනය නිසා ධ්‍යාන නොලැබේ. මස්‌ මාළු ආදියෙන් නොවළකින්නන්ට මොන ධ්‍යානද? මොන සමාධියක්‌ද?

ධ්‍යාන ලැබීමට තිබිය යුතු ගුණාංග කීපයක්‌ මෙසේ දක්‌වමු. ධ්‍යාන උපදවා ගැනීමට හේතු සම්පත් තිබිය යුතුය. ත්‍රිහේතුක ඥන සම්ප්‍රයුක්‌ත කුසලයකින් උපත ලැබූවකු විය යුතුය. එනම් ඥන සම්ප්‍රයුක්‌ත මහ විපාක සිත් සතරින් එකකින් ප්‍රතිසන්ධීය ලැබූවකු විය යුතුය. සසර භාවනා පුරුදු කළ කෙනකු විය යුතුය. කර්මාන්තරාය, ක්‌ලෙශාන්තරාය, විපාකාන්තරාය, උපවාදඅන්තරාය, ආනවිතික්‌කමනා අන්තරාය යන අන්තරාය කර ධර්ම පහෙන් වෙන්වූවකු විය යුතුය අඩුම වශයෙන් නොයH පුද්ගලයකුවත් විය යුතු. සීල විශුද්ධියෙන් පිරිසිදු වීම, භාවනාවට සුදුසු ස්‌ථානක විසීම, කාලසටහනකට අනුව කමටහන් වැඩීම, දස පළිබෝධ නැත්තකුවීම, පෙර කළ පින් ඇත්තකු වීම තමාගේ සිත පිළිබඳව මනා අවබෝධය, කඩ නොකරමින් අඛණ්‌ඩව භාවනාවේ යෙදීම, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ යන ඉන්ද්‍රිය පස සමව පවත්වාගෙන යැම, තමන්ගේ අපේක්‍ෂාව අදට මෙතෙක්‌ සඵල විය. අද මෙතෙක්‌ සඵල විය වශයෙන් අවබෝධය, තමා තුළ බලවත්ව ඇත්තේ කවර කෙලෙස්‌ දැයි හඳුනා ගැනීම, ප්‍රතිඵල නොලැබීම නිසා භාවනාව අත් නොහැරීම සහ එසේ නම් ඊට හේතු තමා විසින්ම අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම, (යෝගාවචරයකු තුළ තිබිය යුතු අතිශයින් වැදගත් ගුණධර්ම සියයක්‌ පමණ මිලින්ද ප්‍රශ්න යෝගි ප්‍රශ්න පරිච්ඡේදයේ ඇතුළත් වේ) උත්සාහවන්තව භාවනා කළද ධ්‍යාන නොලැබීමට හේතු බොහෝය. ඉන් කීපයක්‌ නම් සුගති අහේතුක, දුගති අහේතුක, ද්විහේතුක පුද්ගලයන් සීල විශුද්ධිය මුදුන් පමුණුවාගෙන තථාගතයන් වහන්සේ ආචාර්ය කොට කමටහන් ගෙන දිවි ඇති තෙක්‌ භාවනා කළ නමුත් ධ්‍යාන නොලබයි. ඒතාක්‌ විපාකාවරණයන් නොමිදුණු සුගති අහේතුක, දුගති අහේතුක පුද්ගල තෙමේ මතු ආත්ම යෙහි ධ්‍යාන ලබමියි සිතා භාවනා කරන්නේ නම් ඔහුගේ භාවනාව හිස්‌ නොවන්නේය. තුන්වැනි භවයෙහිවත් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්‌ ලා භාවනා කර වහා ධ්‍යාන ලබන්නේය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උපත ලැබූ උපසම්පදා භික්‌ෂුන් පාරාජිකා පත්තියට පැමිණ ශ්‍රමණ ප්‍රතිපදාවෙන් ශාසනයෙහි බ්‍රහ්ම චර්යාව පිළිපැද්ද ද ධ්‍යාන නොලබයි. එහෙත් ගිහිව සිට දස සීල ආදියෙහි පිහිටා භාවනා කළහොත් ධ්‍යාන උපදවා ගත හැක.

පිරිසිදු ශීලයෙහි නොපිහිටියහුට ධ්‍යාන නොලැබේ. එසේම භාවනාවට අයෝග්‍ය ස්‌ථානයෙහි ධ්‍යාන උපදවා ගත නොහැක. චරිතයට නොගැළපෙන කමටහන ගෙන භාවනා කිරීමෙන් ද ධ්‍යාන උපදවා ගත නොහැක. භාවනා රමතාවය හෙවත් භාවනාවෙහි ඇලී නොසිටින ඊට මහත් රුචියක්‌ නැත්තකුට ධ්‍යාන උපදවා ගත නොහැක. මනුෂ්‍ය ඝාතකයකුට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උපත ලබා ඇතත්, ධ්‍යාන ලබාගත නොහැක. (අංගුලිමාල තෙමේ මනුෂ්‍ය ඝාතකයකු නොවූ බැවින් ඒහි භික්‍ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබා රහත්විය.)

වරින් වර කඩකොට භාවනා කිරීමෙන් සමාධිය දියුණු නොවේ. යම් කලෙක සිත හැකිලී පවත්නේ නම් (අලසවීම) එවිට පස්‌සද්ධි සම්බොඡ්ජංගය වැඩීමටද, සමාධි සම්බොඡ්ජංගය වැඩීමටද උපේක්‍ෂා සම්බොඡ්ජංගය වැඩීමටද නුසුදුසු අවස්‌ථාවකි. කලංක (දොස්‌ සහිත) ආලම්බනයෙන් භාවනා කිරීමෙන් ධ්‍යාන නොලැබේ. අරමුණු අවටින් හාත්පසින් භාවනා වැඩීමෙන්, අරමුණු බිඳිමින් ධ්‍යාන වැඩීමෙන්, මැනවින් ධ්‍යාන නොවැඩීමෙන් උත්සාහයෙන් තොරව ධ්‍යාන වැඩීමෙන් පුරුදු කළ දැහැන අල්ප මාත්‍ර වශයෙන් වැඩීමෙන්, කලබලයෙන් අතිධාවනයෙන් භාවනා වැඩීමෙන්, අභිමානයෙන් ධ්‍යාන වැඩීමෙන්, කලබල සිතින් ආශ්වාස ප්‍රශ්වාස වේගවත් කල්හි ධ්‍යාන වැඩීමෙන් නැගී සිටීම (පරියුට්‌ඨානය) නිස්‌සරණය නොදනිමින් ධ්‍යාන වැඩීමෙන්, කාමරාගයට ව්‍යාපාදයට හේතු මෙනෙහි කරමින් ධ්‍යාන වැඩීමෙන්, භාවනා අරමුණු වහ වහා මෙනෙහි කිරීමෙන්, කාමයන් හා අකුසලයන්ට ඇල්මෙන්, ධ්‍යාන පිළිබඳව අසත්පුරුෂයන්ට කීමෙන්, අධර්මරාගයෙන් යුතුව ධ්‍යාන වැඩීමෙන්, ධ්‍යාන වැඩීමට නුසුදුසු පරිසරයක හිඳ භාවනා කිරීමෙන් කෙළ බව (නතර නොකෙරෙන කතාව) අධික නොවූ තෘෂ්ණාවෙන් ධ්‍යාන වැඩීමෙන්, ධ්‍යානිසංස පිළිබඳ අවබෝධයකින් තොරව භාවනා කිරීමෙන්, ක්‍ෂණික ප්‍රතිඵල අපේක්‍ෂාවෙන්, සමථ නිමිත්ත මෙනෙහි කිරීම් වශයෙන් මනාකොට උද්ධච්ච කුක්‌කුච්ච නොනසා ධ්‍යානය වැඩීමෙන් ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් තොරව ධ්‍යාන වැඩීමෙන් සම්මා දිට්‌ඨ§යෙන් යුක්‌ත නොවීමෙන් දස පලිබෝධයෙන් යුක්‌ත වීමෙන්, බොඡ්ජංග ධර්ම, සංයෝජන ධර්ම, අරි අටගිමග, පටිච්ච සමුප්පාදය ආදී ධර්ම පිළිබඳ අවබෝධයකින් තොරව භාවනාවට ප්‍රවේශ වීමෙන් අරමුණකින් තොරව අධිෂ්ඨානයකින් තොරව භාවනා වැඩීමෙන් ධ්‍යාන නොලැබේ. 

ධ්‍යාන පිරිහීමට ද හේතු

මහන්සියෙන් ලබාගත් අර්පණාව ගේ චිරස්‌ථතිය සඳහා ඊට ප්‍රතිපක්‍ෂ වූ නීවරණ ධර්ම යන්ගෙන් සිත මනාව පිරිසිදු කර නොගැනීමෙන් කාය පස්‌සද්ධි වශයෙන් කායදරථයට නිමිත්ත වූ ව්‍යාපාදය මනාව සංසිඳුවා නොගෙන ආරම්භක ධාතු, ආලෝක සංඥ මෙනෙහි කිරීමෙන්, මනාකොට ථිනමිද්ධය දුරු කර නොගැනීමෙන් සමථ නිමිත්ත මෙනෙහි කිරීම වශයෙන් මනාකොට උද්ධච්ච කුක්‌කුච්ච නොතැකීමෙන් විචිකිච්ඡාවට කාරණා වූ මද නිම්ද සමාධියට ප්‍රතිපක්‌ෂ ධර්මයන් මනාකොට ශුද්ධ නොකොට භාවනා කිරීමෙන් ඝන සංගනිකා රාමයෙන්(බොහෝ පිරිස්‌ ඇති තැන) යුක්‌ත වීමෙන් ධ්‍යාන පිරිහීමට හේතු වේ. එවන් අවස්‌ථාවල "ධ්‍යානයට සමවැදුණත් ඒ යෝගාවචර තෙම අශුද්ධ ස්‌ථානයකට පැමිණි බඹරකු මෙන් ධ්‍යානයෙන් පිරිහෙන්නේ" යෑයි විමුක්‌ති මග්ගය කියයි.

ලබාගත් ධ්‍යාන නොපිරිහී පවත්වාගෙන යැමට බොහෝ දුරට උපාකරවන්නේ ධ්‍යාන පිරිහීමට දී ඇති හේතුවලින් වැළකීමය. 

එසේම සතිය හා සම්පජඤ්ඤය පවත්වාගෙන යැමෙන් භාවනා නොවඩන විට ආර්ය තුෂ්ණිම්භූත භාවයෙන් විසීමෙන් මෙහි සඳහන් යෝගාවචරයා විසින් දැන ගත යුතු දහම් කරුණු මෙනෙහි කිරීමෙන් පංච ඉන්ද්‍රියයන්ගේ මනා පාලනයෙන් මාන නමැති ධජය (කෙවිට) බිම දමා පාගා දැමීමෙන් සත්පුරුෂයන්ගේ ගැරහුමට ලක්‌වන කුඩා වරදක්‌ පවා නොකිරීම, කුරු ධර්ම ජාතකයේ මෙන් පව්වලින් වැළකීමෙන් කාලසටහනකට අනුව නොකඩවා කටයුතු කිරීමෙන්, ගුරු උපදෙස්‌ නොබිඳ පිළිපැදීමෙන් බොඡ්ජංග ධර්ම මෙනෙහි කිරීමෙන් ලැබූ ධ්‍යාන නොපිරිහී පවත්වාගෙන යැමට උපකාර වේ. 

දස කසිණවලින් මෙත්තා, කරුණා, මුදිතා (බ්‍රහ්ම විහාරවලින්) ආනාපාන සතියෙන්, කායගතා සතියෙන්, මරණ සතියේ දස අශුභයෙන් පළමු දැහැන ලැබේ. දස කසිණ, ආනපාන සතිය, මෙත්තා, කරුණා, මුදිතා කමටහන්වලින් දෙවැනි හා තෙවැනි දැහැනද, දස කසිණ ආනාපාන සති හා උපේක්‍ෂා කමටහන්වලින් සතරවැනි දැහැනද ලැබේ. 

භාවනා, කමටහන්, ධ්‍යාන, ධ්‍යානාංග, ධ්‍යානයට සමවැදීම ආදී කරුණු පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයක්‌ නොලැබූවෝ ආනාපාන සතිය, දස කසිණ ආදී කමටහන් තෝරා නොගැනීම වඩාත් උචිතය. අනාපාන සතිය වැඩූ බොහෝ දෙනකු භාවනා අසාර්ථක භාවය පිළිබඳව මේ ලේඛනයට ප්‍රකාශ කර ඇත. මහාචාර්ය ගුණපාල මළලසේකර පඬිතුමා ප්‍රකාශ කර ඇති අන්දමට මෙත්තා, කරුණා, මුදිතා, කායගතා සති හා මරණ සතිය දන්නේ නම්ද ගුරු උපදෙස්‌ නොමැතිව වුවද වැඩිය හැක. මරණ සතිය හා කායගතා සතිය වඩන්නා අමෘතය වළඳන බව බුද්ධ දේශනාවයි. මෙත්තා කමටහනේ ආනිසංස 11 වදාරා ඇති අතර අප මහ බෝසතාණෝ මෙත්තා භාවනාව අවු. 7 ක්‌ වඩා කල්ප 7 ක්‌ බඹලොව සිටි බවත්, 36 වතාවක්‌ සක්‌දෙව් රජුව සිටි බවත්, සතර වතාවක්‌ චක්‍රවර්තී රජව සිටි බවත්, අංගුත්තර නිකායේ හා ඛුද්ධක නිකායේ මා පුඤÆහායි සූත්‍රවල වදාරා ඇත. ද්වේශ චරිතයාට නියම කර ඇති මෙත්තා, කමටහන චරිත භේදයක්‌ නොසලකා කටත් උචිතය. එයින් ලැබෙන පළමු දෙවැනි තෙවැනි දැහැන්වලින් එකක සිට විදසුන් වඩා සතර මඟ සතර ඵල නිවන අවබෝධයට කිසිම බාධාවක්‌ සැකයක්‌, විචිකිච්ඡාවක්‌ නැත. අවශ්‍ය වන්නේ උපදෙස්‌ අනුගමනය කිරීම පමණි. 

ගෞතම සම්බුද්ධ ශාසනයේ අවුරුදු 7 න් රහත්වූ සංකිච්ච රහතන් වහන්සේද, අංගුලිමාල ආදි බොහෝ රහතන් වහන්සේලා මෙත්තා භාවනාව වඩා අර්හත්වයට පත්වූහ. මෙත්තා කමටහන වඩා මෛත්‍රියෙන් අගතැන්පත් වූ අස්‌සතුත්ත රහතන් වහන්සේ බුද්ධ කාලයට පසුව විසූහ. ගව් හතරක්‌ දිග පළල වූ භූමි ප්‍රදේශ යෝගාවචරයන්ගෙන් පිරී තිබුණු බැවින් පලක්‌ බැඳ අහසේ සිට කමටහන් දුන් බව කියෑවේ. මේ ශාසනයේ කිසිම රහතන් වහන්සේ නමකට එතරම් දෙනෙක්‌ කමටහන් ගැනීමට පැමිණ නැත. සමාවතී බිසව ඇතුළුව 500 දෙනකු මාලිගාව ගිනිගනිද්දී නිරුපද්‍රිත වූයේ මෙත්තා භාවනාවේ ආනිශංසයෙනි. උත්තරා නම් රූමත් තරුණියගේ ඇඟට උණු තෙල් වැටුණද අබැටක්‌ තරම් හානියක්‌ නුවුණේ මෙත්තා භාවනාවේ ආනිසංස යෙනි. මෙත්තා භාවනාවෙන් පසු උපේක්‍ෂා භාවනාව වඩා පංචාභිඥ අට්‌ඨ සමාපත්තිද, අනාගාමිව අකනිටා බඹලොව ඉපිද උද්ධම්භාගිය සංයෝජන පස සමුච්ඡේද ප්‍රහානයටද හැකි වේ. 

මෙත්තා කමටහන වෙනත් කමටහන් මෙන් නොව කරණීයමෙත්ත සූත්‍රයේ වදාළ පරිදි සතර ඉරියව්වෙදිම වැඩිය හැකි කමටහනකි. මහණෙනි, මෙත්තා කමටහන අසුරු සැණක්‌ ගසන වේලාවක්‌ වැඩුමෙන් ලැබෙන ආනිසංස තමන් වහන්සේට වත් දේශනා කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ප්‍රභාශ්වර වර්ගයේ වදාරා ඇත. මෙත්තා කමටහන් වඩා අප්‍රමාණ ආනිශංස ලැබුවෝ මෙකලද වෙසෙන අතර එසේ නොවැඩූ කමටහන් පිළිබඳව සූත්‍රවල වදාළ උපදෙස්‌ දෙන අය කරන්නේ අත්දැකීමෙන් තොරව උපදෙස්‌ දීමකි. පිහිනීම නොදැන පොතේ දැනුමෙන් පිහිනීම උගන්වන්නට යන්නවුන්ට සමාන වේ. 

අනගාරික සම්‍යක්‌ බ්‍රහ්මචාරි දයාසේන සේනාරත්න


free counters